කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීම සදහා විකල්ප ක්‍රියාමාර්ග රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු වේ. එහි එක් පියවරක් ලෙස කටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 06 ත් 08ත් අතර වේ. එහෙත් මේ වන විට වාර්ෂිකව ගුවන් මගී මෙහෙයුම් මිලියන 10ත් 12ත් අතර සංඛ්‍යාවක් කටුනායක ගුවන් තොටුපළේ සිදු වේ. තවත් වසර දෙකක් තුළ මෙය මිලියන 18-20 ත් අතර ඉහළ අගයක් ගනු ඇතැයි ගණන් බලා තිබේ. කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග මේ වන විට ලොව පුරා ගුවන් ගමන් අඩාල වී ඇති අතර මේ නිසා ලෝකයේ සියලුම ගුවන් තොටුපළ සේවා බිද වැටී තිබේ.
ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය පවසන්නේ ආසියා පැසිෆික් කලාපයේ මගී ප්‍රවාහන ඉල්ලුම 34% ත් 44% ත් අතර අගයකින් පහළ වැටෙනු ඇති බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමත් සමග නැවතත් මගී ගුවන් ගමන් යථා තත්ත්වයට පත්වනු ඇත.සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ දී ගුවන් තොටුපළවල පවතින මගී තදබදය අවම කර ගත යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහසයි.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් කොවිඩ් 19 වසංගතය නැවත රටට ඇතුළුවීම වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් රජයට යෝජනා කර තිබේ. කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් මගියෙකු රටට ගොඩ බැසීමට පෙර නිශ්කාෂණ ක්‍රමයක් හදුන්වා දීම, යම් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ගුවන් ගත වී පැය 1/2 ක් තුළ ගුවන් මගීන්ගේ නාම ලේඛනයක් ගුවන් තොටුපළ බළධාරීන්ට ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම, සෑම මගියෙකු ම පැමිණීමේ දී වීෂබීජහරණ කුටි ඔස්සේ යාමට සැලැස්වීම, පැමිණෙන සෑම මගියෙකු ම කොවිඩ් 19 පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කිරීම, ගුවන් මගීන්ගේ කොවිඩ් 19 පරීක්ෂණ සිදු කිරීම, මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම, ගුවන් යානා හා ගුවන් තොටුපළ වරින් වර වීෂබීජානුහරණය කිරීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි යෝජනා ඒ අතර වේ. කටුනායක ගුවන් මගියෙකු පිටවන අවස්ථාවක දී ක්‍රියාකළ යුතු ආකාරය ද මෙම යෝජනාවලියේ ඇතුළත් වේ.
මෙම යෝජනා අතර ඇති විශේෂ යෝජනාවක් වන්නේ කටුනායක මෙන් ම මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ මගී ගුවන් මෙහෙයුම් පුළුල් කිරීමයි. රටට පැමිණෙන ගුවන් මගීන්ට සිය ගමනාන්තය අනුව රටට ගොඩ බැසිය හැකි ක්‍රමවේදයක් හරහා කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණිම අවම කර ගත යුතු බවත් ඒ මගින් කටුනායක ගුවන් තොටුපළේ මගී තදබදය අවම කර ගැනීමට හැකිවනු ඇති බවත් ගුවන් තොටුපළ බළධාරීන්ගේ අදහසයි. දැනටමත් මත්තල සහ රත්මලාන ගුවන් තොටුපළ මගී ගුවන් සේවා පුළුල් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ යෝජනාවලිය කඩිනමින් ක්‍රියත්මක කිරිමට රජය අපේක්ෂා කරන බවයි.