COVID -19 වෛරස් රෝග තත්ත්වය පාලනය සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළිවෙළට සහාය පළ කරමින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වහාම ක්‍රියාත්මක කරන ලෙස දන්වා නියෝග කිහිපයක් අදාළ බලධාරින් වෙත ලබා දී තිබේ.
විශේෂයෙන් මහජනතාවගෙන් අමාත්‍යවරයාට ලැබෙන ඉල්ලීම් පදනම් කරගනිමින් මෙම නියෝග ලබා දී ඇත.
ඒ අනුව කොරෝනා (COVID-19) වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට අදාලව ප්‍රකාශයට පත්කර ඇති රජයේ නිවාඩු දිනවල මෝටර් රථ වාහන වැරදි සඳහා ස්ථානීය දඩ මුදල් ගෙවීම, බස් රථ ප්‍රවාහන බලපත්‍ර හා බස් රථ මාරු කිරීමට අදාළ බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම මෙන්ම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීම ද ඇතුළත් වේ.
කොරෝනා (COVID-19) වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට අදාලව ප්‍රකාශයට පත්කර ඇති රජයේ නිවාඩු දිනවල මෝටර් රථ වාහන වැරදි සඳහා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ දී මහජනතාව මුහුණ පාන ගැටලු මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇත.
මෝටර් රථ වාහන වැරදි සඳහා පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන ස්ථානීය දඩ මුදල් ගෙවීම සඳහා ලබා දෙන දින දහහතරක (14) කාල සීමාව ගණනය කිරීමේදී, මේ දිනවල කොරෝනා (COVID-19) වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට අදාලව ප්‍රකාශයට පත්කර ඇති රජයේ නිවාඩු ඊට අදාළ කර ගන්නා ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට එම ආයතන තීරණය කර තිබේ.
ඒ අනුව, කොරෝනා (COVID-19) වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට අදාලව රජය විසින් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරනු ලබන කාල සීමාව ඉවත් කර අදාළ ස්ථානීය දඩ මුදල් ගෙවීම සඳහා අවස්ථාව සලසා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.
එමෙන්ම බස් රථ බලපත්‍ර යාවත්කාලීන කිරීමේ දී 2020-03-01 දින සිට යාවත්කාලීන කිරීමට නොහැකි වූ මගී සේවා අවසර පත්‍ර එම දින සිට ඉදිරි මාසයක කාලයක් දක්වා එනම් මාර්තු මස 30 දින දක්වා යාවත්කාලීන කරන ලද අවසර පත්‍ර සේ සලකා කටයුතු කිරීමට ජාතික ගමනාගමන කොමිසම විසින් කටයුතු කරනු ලැබේ.
එමෙන්ම එම කාලයට අදාලව රක්ෂණ සහතිකය වලංගු කර තබා ගැනීම මගී සේවා අවසර පත්‍ර හිමිකරුවන්ගේ වගකීම වේ. එසේ වලංගු අසීමිත රක්ෂණ සහතික පත් නොමැති නම් බස් රථ ධාවනය සඳහා යෙදීමෙන් වැලකිය යුතුය. එම තීරණය මගී ජනතාව මෙන්ම පදිකයින්ගේ ආරක්ෂාව සඳහා ගන්නා ලද තීරණයකි.
2020 මාර්තු 16 වන දින සිට අප්‍රේල් මස 20 දින දක්වා රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නියමිත රියදුරන්ට ඒ සඳහා මැයි මස 30 වන තෙක් දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වලංගු කිරීමට අදාල ගැසට් පත්‍රයට ඊයේ පස්වරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අත්සන් තැබු අතර එම ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රි නිකුත් කරනු ලැබීය.
කොළඹ මෝටර් ප්‍රවාහන කාර්යාල හා වෙනත් කාර්යාවලට ප්‍රවාහන සේවා සම්බන්ධව සේවාවන් ලබාගැනීමට ජනතාව පැමිණීම වලක්වා ගැනීම මෙන්ම COVID -19 වෛරසය ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුනින් මෙම තීරණ ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.