ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මර්දනය කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70000ක් වැය කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.
"ලංකාව තුල පළමු කොවිඩ් රෝගියා ලෙස වාර්ථා වන විටත් අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කොවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බලකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුනා. ඒ නිසා අපට ඉතා ඉක්මනින් කොරෝනා පලමු රැල්ල පාලනය කරන්නට පුලුවන් වුනා.
කොරෝනා පාලනය කිරිමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් මෙහිදී අපි අමතක නොකල යුතුයි.
මේ කාලය තුල ජන ජීවිතයට වූ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියා කලා. අත්‍යවශ්‍ය ආහාර ජනතාවට ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කලා. ආදායම අහිමි වූ පවුල් ලක්ෂ 59 ක් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව දෙවරක්ම ලබා දුන්නා. අසීරු කාලය තුල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩුකිරීම සඳහා බදු සහන ලබා දුන්නා.
කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීම, ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම, PCR පරීක්ෂණ හා සුබසාධන කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් මිලියන 70,000 කට වඩා වියදම් කොට තිබෙනවා."