කොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබලෙකු හමුවීමත් සමඟ හුදකලා කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ගම්මානය ඊයේ ( 02) දා සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොරෝනා වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලාගේ පවුලේ පිරිස හා ඔහු ඇසුරු කළ පිරිස් වවුනියාව, පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය අතර නාවික සෙබලා විසූ මහකච්චකොඩිය ගම්මානය හුදකලා කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත්හ.
අනතුරුව නාවික සෙබලාගේ පවුලේ පිරිස් හා සහ ඇසුරු කල අයගේ පී.සි.ආර් පරික්ෂණයෙන් පසුව ඔවුන්ට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වීමෙන් අනතුරුව මහකච්චකොඩිය ගම්මානය විවෘත කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගනු ලැබීය.
එමෙන්ම නාවික හමුදා සෙබලා ඇසුරු කළ හා ඔහුගේ ඥාතීන් සමඟ සබදතා පවත්වා ස්වයං නිරෝධායනයට ලක් කළ පවුල් 29 කින් පවුල් හතරක් තවදුරටත් මහකච්චකොඩිය ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති අතර සෙසු පිරිසට ස්වයං නිරෝධායනය අවසන් කරන ලෙසට වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය උපදෙස් ලබා දී ඇත.
පසුගිය 21 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නාවික හමුදා සෙබලෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමත් සමඟ මහකච්චකොඩිය ගම්මානය හුදකලා කොට නාවික සෙබලා ඇසුරු කළ පිරිස එලෙස ස්වයං නිරෝධායනයට ලක් කෙරිණි.