“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය සහ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහාය දෙන්නැයි ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.
පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (26) කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා නිකවැරටිය පොළ භූමියේ පැවති ජන හමුවට සහභාගී වූ අවස්ථාවේ එසේ ප්‍රකාශ කළේය.
ජනහමුවට වැඩම කර සිටී මහ සංඝරත්නය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් එතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය ඉහළින් අගය කළ පෙර පාසල් ගුරුවරියෝ පිරිසක් එය දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ගත් දැවැන්ත පියවරක් බව පැවසූහ.
අපේක්ෂක ටී.බී. ඒකනායක මහතා මහව සති පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වන වනඅලි තර්ජනයට ස්ථිර විසදුමක් දීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
මහව මංසන්ධියේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, සංස්කෘතික චතුරශ්‍රයේ ඉදිකිරීම්, ඉඩම් සහ ජල ප්‍රශ්න පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.
පාසල් දරුවෙක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග ලෙස මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අපේක්ෂක තාරානාත් බස්නායක මහතා ගල්ගමුව යූ.බී. වන්නිනායක ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. වන අලි තර්ජනය, ගල්ගමුව රෝහලේ අඩු පාඩු සහ බස් රථ හිඟය ආදි ගැටළු නිසා ගම්මාන කිහිපයක ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.
ඉඩම් පැවරීමේ දී නිසි ලෙස මැණුම් සිදු නොකිරීම සහ ඔප්පු නොලැබීම පිළිබඳව ගම්මාන රැසකදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. විධිමත් විමර්ශනයක් සඳහා කමිටුවක් පත් කර ඊට විසඳුම් දෙන බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ගොවි ජනතාවගේ පහසුව උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.