නාවික හමුදා කඳවුර ආශ්රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සුව ඇමැතිනිය පවසයි.
"අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයකට පැමිණියා."
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම අදහස් දක්වන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - "රජයක් ලෙස සැම අවස්ථාවකම අපේ ඉළක්කය තිබුනේ කොවිඩ් - 19 රෝගය සමාජය තුල පැතිරයාම වැළැක්වීමයි. මේ වන විට නාවික හමුදා පොකුර ගත්තොත් නාවික හමුදා කඳවුර ආශ්‍රිතව සිටි සියළුම රෝගීන් සුව වී එම පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා."
"කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව එම රෝගීන් ආ ගිය තැන් වල ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පිරිස් හා ලඟම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂා 8148 ක් සිදු කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව මේ තිබෙන පොකුරේ සමාජය තුල පැතිරීම අපි බොහෝ දුරට පාලනය කරලා සමාජය තුල පැතිරීම අපේ පාලනයට නතු කර ගෙන තිබෙනවා. එමෙන්ම එම කඳවුර ඇතුලේ දෙවන වතාවටත් PCR පරික්ෂණ සිදු කරගෙන යනු ලබනවා. දෙවැනි වතාවට සමහර විට කඳවුර ඇතුලේ රෝගීන් හමුවිය හැකියි. නමුත් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව සමාජය තුල මෙම වෛරසය පැතිරීම අප පාලනයට ලක් කර තිබෙනවා."
"ඒ වගේම අද දින කැබිනට් මණ්ඩලයේ දී පෙර පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා. කැබිනට් මණ්ඩලයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත්, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මමත් එකඟ වුනා අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට."