අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හරහා ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍ය න්තර ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අන් සතු ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි තැනැත්තා 35 හැවිරිදි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම ව්‍යාජ ජර්මානු වීසා බලපත්‍රයක් සහිතව විදේශගත වීමට පැමිණි 29 හැවිරිදි තරුණිය යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි .
ඔවුන් දෙදෙනා අද දින අලුයම 12.20 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 558 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .
මොවුන් දෙදෙනා ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ ඔවුන් සතු ලියකියවිලි ගැන මතු වූ ගැටළු මත , මෙම පුද්ගලයින් දෙදෙනා එම ගුවන් සේවා නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
කැනඩාව වෙත ගමන් කිරීමට තැත් කළ තැත්කළ පුද්ගලයා සතු ගුවන් ගමන් බලපත්‍රය වෙනත් අයකු සතු ගුවන් ගමන් බලපත්‍රයක් බව මෙම දේශසීමාව ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදුකළ තාක්ෂණික පරීක්ෂාවන් ගෙන් සහ අදාළ ගුවන් මගියාගෙන් සිදුකළ වාචික ප්‍රශ්න කිරීම් වල දී තහවුරු කර ගෙන තිබුණි .
එමෙන්ම ජර්මනිය බලා පිටත්ව යෑමට පැමිණි කාන්තාව සතු වූ වීසා බලපත්රයද ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ එකක් බව මෙම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී තහවුරු වී තිබුණි.
එහිදී තමන් නොහදුනන තැරැව්කරුවකු මගින් මෙම ව්‍යාජ වීසා බලපත්‍රය තමාට මොරටුව ප්‍රදේශයේ දී ලැබුණු බවත් , තමන් ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් එම තැරැව්කරුට ගෙවූ බවත් මෙම කාන්තාව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ .
එමෙන්ම මෙම කාන්තාවගේ සැමියා ද ජර්මනියේ වාසය කරන බවත් ඔහු ද ව්‍යාජ නේවාසික වීසා බලපත්‍රයක් භාවිතා කරමින් ජර්මනියට පැන ගොස් ඇති බවද එම නිලධාරීන් වැඩිදුරටත් මෙම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කර ගෙන තිබුණි .
අන්සතු ගුවන් ගමන් බලපත්‍රය සහ ව්‍යාජ වීසා බලපත්‍රය පිළිබඳ විමර්ශන කටයුතු අවසන් කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබේ .