කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (31) දින උදෑසන ගුවන් තොටුපළ සිල්ක් රූට් පැමිණීමේ ආලින්දයේ දී පැවැත්වූනි .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් මස ආරම්භ කර වසර 03 කින් නිමා කිරීමට සැළසුම් කර තිබේ .
මෙම ව්‍යාපෘතියෙහි උපදේශකවරු ලෙස ජපාන ගුවන් තොටුපළ උපදේශක සමාගම සහ නිපෝන් කොයි උපදේශක සමාගම කටයුතු කරති .
මේ සදහා මුල්‍ය අනුග්‍රහය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා බැංකුව විසින් ජපන් යෙන් බිලියන 62 ක් ආයෝජනය කිරීමට නියමිතය .
මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු ජපානයේ තායිෂෙයි කෝපරේෂන් ආයතනයයි .
මෙම ව්‍යාපෘතිය යටතේ වර්ෂයකට අමතර ගුවන් මගීන් මිලියන 09 ක් හැසිරවීමට හැකියාව ගුවන් තොටුපළට හිමි වේ . මේ නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 15 ක් හැසිරවීමට අවස්ථාව හිමි වේ .
මෙසේ අලුතෙන් ඉදිවන දෙවන පර්යන්තය වර්ග මීටර් 180,000 ක් විශාල වේ .
මෙම දෙවන පර්යන්තය ගුවන් මගී පාලම් (Piers ) 02 ක් , ඉහළට එසවූ ප්‍රවේශ මාර්ග , රථ වාහන ගමන් මාර්ග , තට්ටු කීපයකින් සමන්විත රථ නැවතුම් පළවල් , ආපනශාලා ආදියෙන් ද සමන්විත වේ .
මේ අවස්ථාවේ දී ජපානයේ තායිෂෙයි කෝපරේෂන් ආයතනයේ නියෝජිතයන් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එරට සිට මෙම වැඩසටහනට සම්බන්ධ විය .
මෙහිදී කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ඉංජිනේරුවරුන් , ගෘහ නිර්මාණ ශිල්පීන් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් පිළිබඳව සැළසුම් නිර්මාණ පිළිබඳව මෙන්ම නව මගී පර්යන්තය තුළ ඇති තාක්ෂණික පහසුකම් පිළිබඳව ද ඉදිරිපත් කිරීමක් ද සිදු කළහ .
මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි , මෙම දෙවන අදියරේ ඉදිකිරීම් භාර ගුවන් තොටුපළ අධ්යක්ෂ අරුණ වරුෂහැන්දි , සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි , සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සභාපති උපුල් ධර්මදාස ජපානයේ ජයිකා බැංකුවේ , ජපාන ගුවන් තොටුපළ සහ නිපෝන් කොයි උපදේශක සමාගම් වල නියෝජිතයන් , ජපානයේ තායිෂෙයි කෝපරේෂන් ඉදිකිරීම් සමාගමේ නියෝජිතයන් ද සහභාගී වී සිටියහ.