පාන්දරින් ඡන්දපොළට ගොස් පොහොට්ටුවට ඡන්දය ලබාදී මනාප තුනම සලකුණු කරන ලෙසත් කටකතා වලට රැවටී ඡන්ද අයිතිය නැතිකර නොගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ අද(02) පෙරවරුවේ හම්බන්තොට වෙරළ උද්‍යානයේ පිහිටි හමුව අමතමිනි.
මහ මැතිවරණයේ අවසන් ප්රචාරක දිනය වූ අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනරැලි ගණනාවක් සංවිධානය කර තිබිණි.
වසර පහක කාලයකට බලයට පැමිණ අනාගත දරු පරපුරට අයිති සම්පත් විකුණා දමා කොළඹ පැන දිවූ පාලකයන් සිටින මෙවැනි යුගයක ගම අතනොහැර ගමේ සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින නායකයින්ට බලය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.
හැටනව ලක්ෂයක ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරගැනීම අත්‍යාවශ්‍ය වී තිබේ.
වැඩක් කිරීමට සූදානමින් සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ වැඩ කිරීමේ හැකියාව ඇති ඒ පිළිබඳ අවබෝධය ඇති කණ්ඩායමක් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සුරියවැව සතිපොළ අසළ පැවති හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය නිසා අද සූරියවැව ජාත්‍යන්තරයම හඳුනන නගරයක් බවට පත්ව ඇති බවයි.
නමුත් පසුගිය යහපාලන රජය සමයේ මෙම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කිසිදු ජාත්‍යන්තර තරඟයක් පැවැත්වීමට ඉඩ නෙදුන් බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.
සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නිර්මාණය කරන කාලයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මෙවැනි ප්‍රදේශයක ඉදිකර තේරුමක් නැතැයි සමහරු සඳහන් කළ අතර, ගමත් නගරයත් දියුණු කිරීමට නම් ගම්වලට සංවර්ධනය ගෙන යා යුතු බව පොදුජන පෙරමුණේ ආදර්ශය වෙයි.