උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වශයෙන්ද කටයුතු කළ ආනන්දි ශෂිධරන් විසින් ඊළාම් තමිලර් ස්වාට්චික් කලහම් (ඊළාම් දෙමළ ස්වාධීන සංගමය) යනුවෙන් නව පක්ෂයක් පිහිටුවීම ඊයේ (21දා) සිදු කෙරිණි.
යාපනයේ පිහිටි පෞද්ගලික හෝටලයකිදී නව පක්ෂය පිහිටුවීමේ සාකච්ඡාව පැවත්වූ අතර එහිදී අදහස් දැක්වූ ආනන්දි ශෂිධරන් කියා සිටියේ යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විශාල ප්රමාණයකගේ ගැටලු මෙතෙක් විසඳීමට රජය හෝ කිසිදු බලධාරියෙකු කටයුතු නොකළ බවයි.
ඔවුන් සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමටද දේශපාලනාධිකාරියටද මේ වනවිට නොහැකි වී ඇති හෙයින් තමන් නව පක්ෂයක් පිහිටුවා දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවද ඇය පවසා සිටියාය.
‘එමෙන්ම උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් පීඩා විඳි කාන්තාවන්ද විශාල ප්‍රමාණයක් සිටින බැවින් තම පක්ෂය හරහා එම කාන්තාවන්ටද සාධාරණයක් කිරීමට උපරිමයෙන් කැපවන බවටද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
යුද සමයේදී ත්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන මෙන්ම මාධ්‍ය ප්‍රධානියා වශයෙන් කටයුතු කළ එලිලන්ගේ බිරිඳ වන්නේද ආනන්දි ශෂිධරන්ය.