ලංකා විදුලිබල මණ්ඩලය බදු වශයෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 19කට අධික මුදල ගෙවීම පැහැරහැර ඇති බැවින් විදුලිබල මණ්ඩලයේ දේපොළ තහනම් කර, එම මුදල අයකර දෙන්නැයි ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිසම ගොනු කොට ඇති පෙත්සම සලකා බැලූ කොළඹ දිසා විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය 17 වැනිදා (අද) අධිකරණයේ පෙනී සිටින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියම කළාය.
මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ දිසා විනිසුරුවරිය එලෙස නියම කළාය. මහජන උපයෝගිතා කොමිසම විසින් දිසා අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් 06හි වගඋත්තරකරු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නම් කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය මෙන්ම යමක් නිෂ්පාදනය කර අලෙවි කිරීම මගින් මුදල් උපයන සෑම ආයතනයක්ම මහජන උපයෝගිතා කොමිසමට වාර්ෂිකව බදු වශයෙන් මුදල් ගෙවිය යුතු බවට පනතේ සඳහන් වන බව මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා මෙම පෙත්සම් 06 මගින් අධිකරණයට දැනුම් දී තිබිණි.
විදුලි බලය උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මහජන උපයෝගිතා කොමිසමට බදු වශයෙන් මුදල් ගෙවිය යුතු බවත්, ඒ බව විදුලි බල පනතේද සඳහන් කර ඇති අතර, විදුලිබල මණ්ඩලය ඒ අනුව 2017 වර්ෂයේදී බදු මුදල් ගෙවා ඇතැයිද දැනුම් දුන් චන්දන ලියනපටබැඳි මහතා විදුලිබල මණ්ඩලය 2018 වර්ෂය සඳහා මහජන උපයෝගිතා කොමිසමට රුපියල් 192,069,600ක බදු මුදල් ගෙවිය යුතු බවද සඳහන් කළේය.
එම බදු මුදල් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබුණද, ඔවුන් එම බදු මුදල් ගෙවා නැතැයිද, බදු මුදල් ගෙවන ලෙස දැනුම් දෙමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට යවනු ලැබූ ලිපියකට පිළිතුරු සපයමින් මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සමග කිසිදු සහයෝගයක් නොපවත්වන බවට ඔවුන්ගේ ඉංජිනේරු සංගමය තීරණය කර ඇති බැවින් බදු මුදල් ගෙවීමට කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට දැනුම් දී ඇතැයිද පැවසූ ලියනපටබැඳි මහතා, ලංකා විදුලිබල මණ්ඩලය එමගින් උත්සාහ කරනුයේ අදාළ බදු මුදල් නොගෙවා සිටීමට බවද දැනුම් දුන්නේය.
ලංකා විදුලිබල මණ්ඩලය එලෙස බදු මුදල් නොගෙවීමෙන් විදුලිබල පනත උල්ලංඝනය කර ඇති බවත්, එබැවින් එම මණ්ඩලයේ දේපොළ තහනම් කර, අදාළ බදු මුදල් අයකර දෙන ලෙසත් පෙත්සම්කාර මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී බදු මුදල් ගෙවන ලෙස දැනුම් දෙමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට යවනු ලැබූ ලිපියකට පිළිතුරු සපයමින් එවා ඇති ලිපිය අනුව මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව පෙනී යන්නේ යැයි සඳහන් කළ දිසා විනිසුරුවරිය, මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් විදුලිබල මණ්ඩලයෙන් විමසිය යුතු බව තීරණය කළාය.
මෙම පෙත්සම අද (17දා) යළි කැඳවීමටද දිසා විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළාය.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දුෂ්මන්ත පීරිස් මහතාගේ උපදෙස් මත නීතිඥ විජය ගමගේ මහතා සමග ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු