යාපනය මාදගල් මුහුදු ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් රත්රං කිලෝ 14 ග්රෑම් 350ක තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් විසින් යාපනය මාදගල් මුහුදු ප්රදේශයේ මුර සංචාරයේ යෙදුණු අවස්ථාවේදී සැක සහිත ධීවර යාත්රාවක් නිරීක්ෂණය වී එය වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ අදාළ සැක සහිත ඩිංගි යාත්රාව අණ නොතකා යාත්රා කර තිබේ.
ඒ අනුව, නාවික හමුදා යාත්රාව මඟින් එම සැක සහිත යාත්රව පසුපස හඹා ගොස් එම යාත්රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගනු ලැබිමෙන් පසුව යාත්රාවේ සිදු කළ සොදිසි මෙහෙයුමේදී මෙම රත්රං සහිත පාර්සලය සොයා ගෙන තිබේ.
එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත්රං කිලෝ 14 ග්රෑම් 350 ක රන් කැබිලි වශයෙන් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 11 කට අධික වෙතැයි නාවික හමුදාව ගණන් බලා ඇත.
නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 වන වියෙහි පසුවන මාදගල් ප්රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
අදාළ රත්රං තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටියි.
නාවික හමුදා භාරයට ගන්නා ලද රත්රං කිලෝ 14 ග්රෑම් 350 ක ප්රමාණය හා සැකකරුවන් දෙදෙනා සමග ඩිංගි යාත්රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරනු ලැබීය.