රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පෙරේදා (27) දැනුම් දුන්නේය.
ඇතැම් රෝහල් වල වෛද්‍යවරුන් අතිරික්තව සිටින අතර, ඇතැම් ග්‍රාමීය රෝහල් වල වෛද්‍ය හිඟයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
මූලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම මඟින් සෞඛ්‍ය පහසුකම් වඩා ප්රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකි වුවත්, පළාත් සභා යටතේ ඇති විෂයන් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය සමඟ ගැටෙන බැවින් එය ගැටලු සහගත බව හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සුදුසු බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය කාලය තුළ විටින් විට සෞඛ්‍ය ක්ෂේත්රයේ වර්ජන රැල්ලක් ඇති වූ බැවින්, වැටුප් ඉහළ නැංවීමේදී පොදු ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
ඉකුත් වසර කිහිපය තුළ මෙරටට ඖෂධ වර්ග රැසක් වැඩියෙන් ආනයනය කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු වූ අතර, ඇතැම් වර්ෂවල අධි ප්‍රතිශතයන්ගෙන් මෙරටට ඖෂධ ආනයනය කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය.
ඖෂධ වලට අදාළව ජාතික තොරතුරු පද්ධතියක් ආරම්භ කරන බවත්, දිවයිනේ සියලු රෝහල් ඊට සම්බන්ධ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇල්පිටිය මූලික රෝහලේ මේ වන විට අඩුපාඩු රැසක් පවතින බවත්, එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට ක්‍රියා කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී පැවසුවාය.
පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකර විවෘත කළද එය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.
