ඕමානයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි මෙරට ශ්‍රමිකයන් 288 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
මෙසේ විවිධ රටවල රැකියා සදහා ගොස් විවිධ ගැටළු වලට ලක් වී යළි මෙරටට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ විශේෂ වැඩසටහන යටතේ මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිස ගෙන්වා ගෙන තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ දින රාත්‍රී 08.25 ට ඕමානයේ මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.206 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙසේ පැමිණි පිරිස , ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළින් නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , රජයේ නීරෝධායනය මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් රැගෙන ගොස් තිබේ .