ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්රේස් හච්චින්සන් මහතා උතුරු පළාතේ සංචාරයක නිරත වෙමින් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවිය.
එහිදී උතුරේ පවතින සංවර්ධන කටයුතු හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ අතර, ඔස්ට්‍රේලියානු රජයෙන් උතුරේ කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීම සඳහා යෝජනා සහ අදහස් මෙන්ම යන්ත්‍රෝපකරණද ලබාදෙන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට පැවසීය.
ඔස්ට්‍රේලියානු තාක්ෂණය උතුරු පළාත දියුණු කිරීමට ලබා දිය හැකි බවත්, බිම්බෝම්බ ඉවත් කිරීමට නවීන තාක්ෂණය අධාරයෙන් වැඩපිළිවෙළක් සකස් කළ හැකි බවත් පැවසූ මහකොමසාරිස්වරයා, උතුරේ අබාධිත පුද්ගලයන් සඳහා ආධාර හා උපකරණ ලබාදිය හැකි බවත්, දැනටමත් උතුරු පළාතේ දිස්ත්‍රික්ක 03ක ආබාධිත පුද්ගලයන් පිළිබඳ ලේඛන සකස් කර ඇති බවත් පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකා රජයට නිරන්තරයෙන් ඔස්ට්‍රේලියානු රජය ආධාර උපකාර කරන බවත්, උතුරේ සංවර්ධනයට ප්රමුඛ දායකත්වයක් ලබා දීමට කැමති බවත් පැවසීය.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, උතුරු පළාත් සභාවට ලබා දෙන ආධාර නියමානුකූලව ජනතා සුබසාධනය සඳහා යොමු කිරීමට තමන් විසින් වැඩපිළිවෙළක් යොදන බවත්, උතුරේ සංවර්ධනයට මෙන්ම ගොවීන්ගේ හා සමුපකාර සංවිධානවල දියුණුවට උපකාර කිරීමට ඔස්ට්‍රේලියානු රජය දායක වීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාට ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පිරිනමන බවත්ය.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ