ඒකක 90ට වඩා අඩුවෙන් විදුලිය භාවිත කරන නිවෙස් වෙත සහන මිලට එල්.ඊ.ඩී. විදුලි බල්බ ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (22දා) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ රූපවාහිනී වොලිබෝල් තරඟාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
“විදුලිය නිෂ්පාදනය කරනවා වගේම වැදගත් කාරණයක් තමයි විදුලිය අරපිරිමැස්මෙන් පාචිච්චි කිරීම. මේ වන විටත් අපේ රටේ ලක්ෂ 20 කට අධික පිරිසක් සිටිනවා සාමාන්‍ය විදුලි බල්බ පාවිච්චි කරන. ඒකටහේතුව තමයි ඔවුන්ට පවතින ආර්ථික ප්‍රශ්න.
දැනට වෙළඳපලේ පවතින මිල හමුවේ එල්.ඊ.ඩී. බල්බ මිලදී ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ නිසා ලංකා විදුලිබල මණ්ඩලය මගින් විවෘත ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම් මගින් විදුලිය පිරිමසින එල්.ඊ.ඩී. විදුලි බල්බ කෝටියක් පමණ මිලදී ගෙන, ඉතාමත් අඩු, සහනදායි මිලකට ඔවුන්ට ලබාදීම තුළින් ජනතාව අරපිරි මැසුම්දායක විදුලි පරිහරණයක් සඳහා යොමු කර, විදුලිය ඉතිරි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේදී මනු කියවන මහතා මගින් ඒකක 90 ට වඩා අඩුවෙන් විදුලිය පාවිච්චි කරන විදුලි පාරිභෝගික නිවෙස්වෙත එල්.ඊ.ඩී. විදුලිබල්බ ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. සාමාන්‍ය විදුලි බුබුලකට වඩා එල්.ඊ.ඩී. විදුලි බුබුලක් පාවිච්චි කිරීම තුළින් අපිට 60% ක ට වඩා විදුලි ප්‍රමාණයක් ඉතිරි කිරීමට පුළුවන්.
ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැඩියෙන්ම විදුලිය වැය වන වෙලාවේදී මෙම බල්බ දස ලක්ෂ දහය පාවිච්චිකිරීම තුළින් මෙගාවොට් 304 පමණ ප්‍රමාණයක් ඉතිරි කරන්න හැකිවේවි කියලා. නොරොච්චෝල බලාගාරය තුළිනුත් නිෂ්පාදනය වෙන්නේ මෙගවොට් 900 ක් වැනි ප්‍රමණයක්.
නමුත් එල්.ඊ.ඩී. බල්බ කෝටියක් පරිහරණය කිරීම තුළින් රටේ මුදල් කිසිදු වියදමක් නොමැතිවම මෙගාවොට් 300 ක් වැනි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිවනවා. ඒ කියන්නේ බලාගාරයක් ස්ථාපිත නොකරම, විශාල විදුලි බලාගාරයක් එකතු කළා වැනි වාසියක්.”