එළැඹෙන අවුරුද්දේ සමගි ජන බලවේග රජයක් බලයට පත් වන බවත්, ඒ අනුව වැරදි කරන සියලු පුද්ගලයන් අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී දඬුවම් විඳීමට සූදානම් වන ලෙස සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
එළැඹෙන පෙබරවාරි මාසයේදී පළාත් පාලන ආයතනවල කාලය අවසන් වන බවත්, ඒ අනුව මැතිවරණයක් පවත්වා ජන මතය උරගා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට අභියෝග කරන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ අද (14දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,
&මේ මොහොතේ පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම නම් අපට තේරෙන්නේ නෑ. තිරය පිටුපස අපට ගම්‍ය වන කාරණා කිහිපයක් තිබෙනවා. පාර්ලිමේන්තුව වාරාවසාන කළාම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) අහෝසි වෙනවා. රාජ්‍ය ගිණුම්කාරක සභාව (කෝපා) අහෝසි වෙනවා. ඒ වගේම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අහෝසි වෙනවා. මේකේ හොඳම නාට්‍ය තමයි කෝප් කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස මම හොඳටම දන්නවා එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඉතාම අපක්ෂපාතී ලෙස කටයුතු කළ පුද්ගලයෙක්. පසුගිය කාලයේදී ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය වගේම බොහෝ රාජ්‍ය ආයතන ගණනාවක් ගෙනැල්ලා මේ වගේ සිදුවෙමින් පවතින විවිධ වූ වංචා පිළිබඳ, විවිධ වූ ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ කරලා විගණකාධිපතිවරයාගේ වාර්තා මත පදනම්ව පරීක්ෂා කෙරුවා. මේ සම්බන්ධව සමහර රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ඔවුන්ව ප්‍රශ්න කිරීම පිළිබඳ ලොකු අවුලක් වෙලා තිබෙනවා.
මේ කාරක සභා තුළින් ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ වගේම ආණ්ඩුවට කඩේ යන නිලධාරීන්ගේ විවිධ වංචා, දූෂණ හෙළි කිරීම සම්බන්ධව ඔවුන් මේ සභාවන් පිළිබඳ අමනාපයෙන් පසුවන නිසා චරිත හේරත් මහතාවත්, අනුර ප්‍රියදර්ශන යාපා මහතාවත්, තිස්ස විතාරණ මහතාවත් මේකෙන් ඉවත් කරන්න ඕන නිසා තමයි මේක කල් දැම්මේ කියලා මම නම් හිතනවා. මොකද මේක අහෝසි වුණාම මේ කට්ටියවම පත්කළ යුතු නෑ කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ නෙළුම් මාවතේ මාධ්‍ය හමුවේදී කියනවා මම අහගෙන හිටියා. ඒ කියන්නේ මේ තුන්දෙනාව පත් කරන්නේ නෑ. ඒ කියන්නේ අලුත් තුන්දෙනෙක් තමන්ට අවනත වෙන, තමන්ට කඩේ යන, තමන්ගේ වැරදි වහගන්න, තමන්ගේ වැරදි සාධාරණීකරණය කරන්න, ගජ මිතුරන්ට දොළපිදේනි දෙන්න සාධාරණීකරණය කරන කණ්ඩායමක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවටයි, මුදල් කාරක සභාවටයි, ගිණුම් කාරක සභාවටයි ගෙන ඒමේ කූට උපක්‍රමයක් කියලා තමයි මම හඳුන්වන්නේ.
අපි පැහැදිලිව එකක් කියනවා ලබන අවුරුද්දේ සමගි ජන බලවේග රජයක් එනවා. මේ වැරදි කරන සෑම දෙනාම ලෑස්ති වෙලා ඉන්න අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීලා දඬුවම් ලබන්න. රනිල් වික්‍රමසිංහ වගේ ඩීල් ආණ්ඩුවක් නෙවෙයි එන්නේ. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් එන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන කවුරු කවුරුත්. පාර්ලිමේන්තුවේ තිබෙනවා කෘත්‍රිම තුනෙන් දෙකක්. ඒක පාවිච්චි කරලා විවිධ අණ පනත් සම්මත කළාම ආණ්ඩුව හිතාගෙන ඉන්නවා සියල්ල හරි කියලා. අපි ආණ්ඩුවට කියන්න කැමතියි ජනවරම ටෙස්ට් කරලා බලන්න. පෙබරවාරි 09 වැනිදාට පළාත් පාලන ආයතනවල කාලය ඉවර වෙනවා. ඉතින් ජනවරම ටෙස්ට් කරලා බලන්න කියලා ඕන ලොක්කෙකුට ඒක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වුණත්, මොළ හතාණෝ බැසිල් රාජපක්ෂටත්, පාර්ලිමේන්තුවේ ඉන්න 158 දෙනාටත් ඇතුළු ඕන කෙනෙක්ට කියනවා ඒ අභියෝගය භාර ගන්න කියලා* යැයි පවසා සිටියේය.