කොවිඞ් පැතිර යෑමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්රික්කයන්ට ප්‍රමුඛතාව දෙමින් මෙම මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඞ් මර්දන විශේෂ කමිටුවට උපදෙස් දී ඇත.
ඒ අනුව අද ලැබුණු සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක්, ගම්පහට ලක්ෂ පහක් සහ කළුතරට ලක්ෂ තුනක් බැගින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලූ දෙනාට එන්නත් දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළ යුතු බවද ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.
මෙලෙස එන්නත්කරණ වැඩසටහන පුළුල් කිරීමෙන් සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඞ් එන්නත ලබාදීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.
ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැගින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක් වෙන්කර තිබේ.
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිතය. ඉන් ලක්ෂ හයක් පළමු මාත්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කෙරේ. ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙනු ඇත.
මේ වන විට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ත්රික්කයන්ටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබාදීමට සැලසුම් කර ඇත. ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඞ් පැතිර යෑමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට බෙදාහැරීමට තීරණය කෙරිණ.