මෙරට තුළ ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා ඇරඹුණු 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යවසායකයන් 29,389 දෙනෙකුට ණය ලබා දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මෙහිදී ලබාදී ඇති ණය මුදලේ වටිනාකම රුපියල් කෝටි 5881 ඉක්මවන බවත් හෙතෙම සඳහන් කරයි.
මෙම එන්ටර්ප්රයිස් සහන ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහාත් 1925 දරන ගාස්තු රහිත ක්ෂණික තොරතුරු සේවාවේ දුරකතන අංකය හඳුන්වාදෙමින් මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
"1925 අංකය හරහා භාෂා තුනෙන්ම මේ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සම්බන්ධයෙන් තොරතුරු දැන ගන්න පුළුවන්. ඔබ මේ සම්බන්ධයෙන් කරන පැමිණිල්ල අදාළ බැංකු ශාඛාව වෙත විද්‍යුත් තැපෑල මගින් යැවෙනවා වගේම එහි පිටපතක් මුදල් අමාත්‍යාංශයටත් ලැබෙනවා. දිනපතා හෝ සතිපතා මෙහි ප්‍රගතිය පරීක්ෂා කරනවා. අපේ අරමුණ වන්නේ නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරිමයි. 2019 අයවැය මගින් මෙය තවදුරටත් පුළුල් කරනවා." අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතරම පසුගියදා ආරම්භ කළ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමේ වැඩසටහන යටතේ තෝරාත් පළාත්වල කාන්තාවන් 44,139 දෙනෙකුගේ ණය කපා හැර ඇති බවත්, ඒ අනුව මෙහිදී රුපියල් බිලියන 1.25ක ණය සහ රුපියල් මිලියන 141කට වැඩි පොලියක් කපා හැර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. එහිදී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 35කින් ලබා ගත් ණය මෙලෙස කපා හැර තිබේ.
මෙම අවස්ථාව සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ උපදේශක මනෝ තිත්තවැල්ල ඇතුළු නිලධාරීන් සහභාගිවී සිටියහ.