එක්සත් ජාතික පක්ෂට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මන්ත්‍රීවරයෙක් නම් කිරීම අද (10දා) තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳවද මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද කාරියවසම් මහතා පවසා සිටියේය.
මහ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් කර ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන්ද තීරණ ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් අද (10දා) සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කැඳවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වුවත් මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බවද සිරිකොත ආරංචිමාර්ග සඳහන් කරයි.
සියලු අසාර්ථක වීම් හා අඩුපාඩුවල වගකීම භාර ගන්නා බවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කර ප්‍රතිව්‍යුහගත කර ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන බවත් මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
එසේම එක්සත් ජාතික පක්ෂය ඉහත තීරණවලට එළඹුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පසුගියදා (07දා) එක්සත් ජාතික පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවේදී බවද හෙතෙම පැවසීය.
මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය ලැබූ ඡන්ද ප්‍රමාණය පිළිබඳවද අද (10දා) පූර්ණ විශ්ලේෂණයක් කිරීමටද එක්සත් ජාතික පක්ෂ නායකයන් තීරණය කර තිබේ.