බැංකුවලින් ණය ගැනීමේදී ජනතාව අපහසුතාවයට පත්වෙන වත්මන් ක්‍රමවේදය වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (21) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති හමු කිහිපයකට සහභාගි වෙමිනි.
උඩුදුම්බර පැවැති රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ බැංකුවකින් ණයක් ලබා ගැනීමට යන පිරිස් අපහසුතාවට ලක්වන අන්දමින් පත්‍රිකා පිරවීමට සිදුවීමේ ක්රමවේදයද ඉදිරියේදී වෙනස් කරන බවයි.
අග්‍රාමාත්‍යවරයා එහිදි මෙසේ ද පැවසීය,
2005 වසරේ බලයට පත්වීමෙන් පසුව රටේ තිස් වසරක් තිබුණ කුරිරු යුද්ධයක් අපි අවසන් කළා. ඊට පස්සේ රටේ සෑම පළාතකම එක වගේ සංවර්ධනයක් ඇති කලේ ඉතිහාසයේ කවදාවත් නොවුණ විදිහටයි. අධිවේගී මාර්ග ඇතුළු මහාමාර්ග, ගුවන්තොටුපල, වරාය පාසල් ආදී සෑම අංශයකින්ම එක හා සමාන සංවර්ධනයක් රටපුරා සිදුකළා
2015 න් පසුව බලයට පත්වුණු රජය ඒ සංවර්ධනය ආපස්සට හැරවූවා. නුවරට එන අධිවේගී මාර්ගය පටන් ගත්තෙත් අපේ කාලයේදියි. යහපාලන ආණ්ඩුව නුවර අමතක කළා. අපේ නව රජය පත්වීමත් සමඟ කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කරනවා. අධීවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මේ වන විට වැඩ අවසන් වෙමින් පවතිනවා. එක එක මන්ත්‍රීවරුන්ට අධිවේගයේ කොටස් ලබා දීමයි මේ ප්‍රමාදයට හේතුව. අපේ රජයක් යටතේ ඉතා ඉක්මනින් නුවර දක්වා යන අධිවේගී මාර්ගයේ කටයුතු අවසන් කරන්න කටයුතු කරනවා.
ආණ්ඩුව වැඩ කරන එක නතර කරලා දිගින් දිගටම පළිගැනීම් කළා. හැමෝගෙන්ම පළිගත්තා. කොමිෂන් ගෙනාවා. චෝදනා නැතුව අපේ දරුවෝ හිරේ දැම්මා. අපේ ඇමතිවරුන් ,මන්ත්‍රීවරුන් උදව් කරපු ව්‍යාපාරිකයෝ මේ සියලු දෙනාටම එෆ්. සී.අයි.ඩී කියලා විශේෂ ඒකකයක් හදලා ඒ හරහා හිරේ දැම්මා. ඒකට පැමිණිලි කරන්න පුළුවන් අගමැතිවරයාට විතරයි. ඒ විදියට නීති කැඩුවා. නීති කඩල පළිගැනීම ආරම්භ කළා. ඊට වැඩි දෙයක් ඒ අයට කරන්න පුළුවන් වුණේ නැහැ.
ඊට පස්සේ ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ගැටුම් එන්න එන්න වැඩිවුනා. ඒ ගැටුම් නිසා හිටපු ජනාධිපතිතුමා මට කරලා අගමැතිකම ගන්න කිව්වා. මම ඒක භාර ගත්තා. ඒ වෙලාවේ අගමැතිකම බාරගන්න කොටත් මම දන්නවා කෙටි කාලයකට තමයි මේ අගමැතිකම බාරගන්නේ කියලා. එදා විපක්ෂයේ ඉන්න කොට අපේ කණ්ඩායමේ පනස් දෙකක් හිටියත් අපිට විපක්ෂ නායකකම දුන්නේ නැහැ. මන්ත්‍රීධූර දාසයක් තිබූණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම දුන්නා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම හය දෙනෙක් හිටපු ජනතා විමුක්ති පෙරමුණට දුන්නා. ඒ තමයි එදා පාර්ලිමේන්තුව හැසිරුණ ආකාරය. ඒ දේවල් කරන්න කතානායක අලුතින් නීති රීති ගෙනාවා. අන්තිමට අගමැතිකම අරගෙන ආයෙත් විපක්ෂයට ගියාම විපක්ෂ නායකකම ගන්න පුළුවන් වුණා.
ඊට පස්සේ අපි අලුත් පක්ෂයකින් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒ මැතිවරණය ජයග්‍රහණය කලා. අපේ පක්ෂයට මන්ත්‍රීවරු තුන්දාස් ගාණක් ඉන්නවා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආසන 71% ක් අපි ජයග්‍රහණය කළා. ජනාධිපතිවරණයටත් අපි පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කළා.
අගමැතිවරයා සහ ජනාධිපතිවරයා පක්ෂ දෙකක ඉන්න කොට රටට සේවයක් වෙන්නේ නැති බව අපි දැක්කා. ඒ අය රණ්ඩු වෙනඑක විතරයි කරන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට අනිවාර්යෙන්ම අගමැතිධූරය හා පාර්ලිමේන්තුව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් රටක සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ඉදිරියට ගෙනියන්න ඕන නම් අපේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීම සඳහා මේ මැතිවරණයේදි පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න.