කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප ජවිපෙ නිවුන් සොහොයුරන් මහ මැතිවරණය කල් දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මහමැතිවරණය පවත්වන්නේ කෝවිඩ් 19 හෙවත් කොරොනා වසංගතය මුළු මුණින්ම පාලනය කිරීමේන් පසුව බවයි.
ජනතාවගේ මල මිණී උඩින් දේශපාලනය කිරීමේ පුරුද්ද ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට බව වැඩිදුරටත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා එජාපය හා ජවිපේ උත්සාහ දරන්නේ රට ආර්ථික අර්බුදයකට ලක් කිරීමට බව චෝදනා කළේය.
අද (16) කටුනායක ගුවන්තොටුපොලේ දී මාධ්‍යවේදීන් හමුවේ ඇමතිවරයා මේ අදහස් පළ කළේය.
ප්රශ්නය :- විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට එන්න. දැන් ඒ වැඩපිළවෙල සූදානම්ද?
උත්තරය :- ඔව්. අපි ඒ සදහා ලැස්තියි. නමුත් අපට ඒ සදහා අවශ්‍ය නිර්දේශය සෞඛ්‍ය අංශ හා ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් ලබා දිය යුතුයි. ඒ නිර්දේශ අනුව ගුවන්තොටුපොලේ මෙහෙයුම් ආරම්භ කරලා ක්‍රමානූකූලව මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ව දිවයිනට ගේන්න අපි සූදානමින් ඉන්නවා. දැනටමත් විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ රටවල ඉන්න අය පිළිබදව වාර්තා තොරතුරු ලබා ගෙන අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
ප්‍රශ්ණය :- තව කොපමණ දවසක් යයිද ගුවන්තොටුපොල මෙහෙයුම් අරඹන්න.?
උත්තරය:- දැනටමත් ආණ්ඩුව මේ පිළිබදව සාකච්ඡා කරමින් යනවා. දැනට රට තුළ පැතිර යමින් තිබෙන කෝවිඩ් 19 වසංගතය අපි උපරිමයෙන් පාලනය කරන්න කටයුතු කරලා තියෙනවා. අපි මෙහිදී සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි. ජනාධිපති කාර්යය සාධක බලකාය හරහා අංශ අනුමැතිය ලද වහාම අපි ගුවන්තොටුපොල මෙහෙයුම් ආරම්භ කරන්න ලෑස්තියි.
ප්‍රශ්ණය :- ශ්‍රී ලංකාවට ගෙන එන විදේශගත ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයකට ලක්කරනවාද?
උත්තරය :- අනිවාර්යයයෙන්ම අපි මේ පැමිණෙන පිරිස් ගුවන්තොටුපොලේම ස්ථානයක පූර්ණ කොරෝනා පරීක්ෂාවක් කරනවා. පැය 06කට පස්සේ තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ ඊටපස්සේ ඔවුන්ව නිරෝධයනයට ලක් කිරීමට තමයි සාකච්ඡා කරමින් යන්නේ. කොහොම වුනත් මේ සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ අනුවයි.
ප්‍රශ්ණය :- ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විදේශ වල හිරවෙලා ඉන්න ළමයි ගේනවා වෙනුවට චීනයට ගුවන් මගින් අදිමින් ව්‍යාපාර කරනවා කියලා.
උත්තරය :- අද යූඑන්පී එකයි ජේ.වී.පී එකයි කටයුතු කරන්නේ නිවුන් සහෝදරයෝ වගේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම එදා වූහාන්වලට ළමයි ගේන්න ගියේ ලාභ බලාගෙන නෙමෙයි. ජාතික ගුවන් සේවය විදියට රජය විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්න කියන්නේ කොයි වෙලාවෙද ඒකට ඔවුන් ලෑස්තියි. නමුත් ජාත්‍යන්තර ගුවන් නීති රීති අනුව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති අනුගමනය කරමින් ඔවුන් සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම වරදක් නෙමෙයි. ඕවා ජේවීපි එකට කියන්න මුකුත් නැතුව කියන කථා.