එක රටක් එක නීතියක් සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති ලෙස අධිකරණයට අපහාස කර දඬුවම් ලබමින් සිටියදී ජනාධිපති පොදු සමාව ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක් පත් කිරීම අධිකරණයේ ගාම්භීරත්වයට මෙන්ම ස්වාධීනත්වයට ගහපු පහරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 15 වැනි දිනය සඳහා අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
මේ අතර අදාල ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්දයෙන් හඬ පට කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වන බවත් ඒ අනුව මෙම කාර්ය සාධක බලකායේ සභාපති හිමිටන්ගේ ක්‍රියාකලාපය පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් මන්ත්‍රීවරිය එහිදී පැවසීය.
එම විවාදයේදී තලතා අතුකෝරල මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළාය.
අද වන විට එක රටක් එක නීතියක් සඳහා අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස් සහ අදහස් ළබා ගැනීමට කාර්ය සාධක බලකායක් පිහිටවලා තියෙනවා. මේක දෛයිවෝපගත සිද්දියක්. 2018 ඔක්තෝම්බර් 26 වැනිදා ව්‍යවස්ථා විරෝධී ලෙස කුමන්ත්රනකාරී විදියට ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුව පළවා හැරියා. මේ කාර්ය සාධක බලකායට නුසුදුස්සන් පත් කරලා මේකත් අධිකරණයට අපහාස වන ආකාරයට ගැසට් කරලා තිබෙන්නේ ඔක්තෝම්බර් 26 වැනිදා. මේකේ සභාපති ලෙස පත් කරලා තිබෙන ස්වාමීන් වහන්සේ මීට පෙර අධිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් සහ කළහකාරී ලෙස හැසිරීම සම්බන්දයෙන් පසුගිය කාලයක සිර දඬුවම් ලබමින් සිටියදී ජනාධිපති සමාව යටතේ පොදු සමාව ලබපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. මෙය අධිකරණයේ ගරු ගාම්භීරත්වය, ස්වාධීනත්වයට ගහපු මහා පහරක් තමයි 2018 ඔක්තෝම්බර් 26 වැනිදා කළා වගේම. මේ කාර්ය සාධක බලකාය පිළිබඳව මොන විදියේ මතයක් තිබුනත් අද අපිට සන්තෝශ වෙන්න බෑ මේ පත්කරලා තිබෙන ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපය පිළිබඳව. මේ දවස් වල සමාජ ජාලා වල නොයෙකුත් විදියේ හඬපට ගිහින් තිබෙනවා. ඊයේ වන විට අලුත්ම එකක් ඇවිත් තිබෙනවා. මේවගේ සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ.
මේ සභාවේ සිටින බෞද්ධ මන්ත්‍රීවරුන් මා සමග එකඟ වෙයි. ඒක බෞද්ධ රටක ජීවත් වන බෞද්ධ ධර්මය අදහන අයට මහා පටලැවිල්ක් වෙලා තිබෙනවා. මොකද ස්වාමීන් වහන්සේලා අතර ප්‍රශ්නයක් බවට කාර්ය සාධක බලකායේ සභාලති ස්වාමීන් වහන්සේ පත්වෙලා තිබෙනවා. තර්ජනය කරනවා. මර්ධනය කරන්න හදනවා. අද මේක ජාත්‍යන්තරව යන හඬපට බවට පත්වෙලා තිබෙනවා. මේ සම්බන්දයෙන් මේ බලකාය පිහිටුවපු ජනාධිපිතිවරයා මොකක් ගන්න පියවර. අපි එක රටක් එක නීතියක් පිහිටුවන එක ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ. ඒ වගේම අපි දැක්කා ජී.එල් පීරිස් විදේශ ඇමතිවරයා මැද පෙරදිග තානාපතිතුමන්ලා කැදවලා එතුමා කියනවා පුද්ගලික නීතීන් වලට කිසිදු හානියක් නොවන විදියට තමයි මේ එක රටක එක නීතියක් වෙන්නේ කියලා. පුද්ගල නීති වලට නෙවෙයි වම් මේක පත් කළේ මොකටද? මොන විදියේ කාර්ය සාධක බලකා පත් කරත් අධිකරණ ඇමතිවරයාගේ වගකීම තමයි මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. අධිකරණ ඇමතිතුමත් අමාත්‍යාංශයේ නිලධාරිනුත් මහන්ති වෙලා නීති සංශෝදන ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.