පොලිස් සැරයන්වරු වශයෙන් වසර 30කට අධික කාලයක් සේවය කොට ඇති තමන් උපපොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලබාදෙන්නැයි ඉල්ලමින් පොලිස් සැරයන්වරු 366 දෙනෙකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද (23) ගොනු කළහ.
පොලිස් සැරයන්වරු වශයෙන් වසර 30කට අධික කාලයක් පොලිස් දෙපාර්තමෙන්තුවට සේවය කොට ඇති වයස අවුරුදු 50 ඉක්මවු පොලිස් සැරයන්වරු 366 දෙනෙකු විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
මේ වනවිට වසර 30 සේවා කාලය සපුරා ඇති තමන් වයස අවුරුදු 50 ඉක්මවා සිටින පූද්ගලයන් බව සඳහන් කරන පෙත්සම්කරුවෝ වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්රලේඛයක් මගින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදාට වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු 2019 වසරේ මැයි මස 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙස නියම කර ඇතත් එම උසස් වීම් තමන්ට නොලැබුණු බවද සඳහන් කොට ඇත.
මේ සම්බන්ධයෙන් තමන් ජාතික පොලිස් කොමිසමට සහ වැඩබලන පොලිස්පතිවරයාට අභියාචනා ඉදිරිපත් කළත් එම අභියාචනා ප්රතික්ෂේප කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ තමන්ට සිදුවී ඇති අසාධාරණය සැලකිල්ලට ගෙන තමන් උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.
