උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් පූර්ණ නිවාස හානි සිදුවීම නිසා ඉවත් කරන ලද නිවාස වෙනුවෙන් ඇල්ල දික්අරාව ප්‍රදේශයෙන් ලබාදුන් ඉඩම් ප්‍රතික්ෂේප කරන එම නිවාස හිමියෝ තමනට පදිංචියට හා ව්‍යාපාරයන්ට සුදුසු ඉඩම් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් ඉකුත්දා ඌව පළාත් ප්‍රධාන ලේකම්, බදුල්ල දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ සහ බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතද ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කළ උමාඔය කැණීම් හේතුවෙන් නිවාස අහිමිවූවන්ගේ එකමුතුව ඉල්ලා සිටින්නේ තමන්ට ලබාදීමට නියමිතවූ ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඉඩම් වෙනුවට ඇල්ල කිනලන් ප්‍රදේශයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම්වලින් බිම් කොටස් ලබාදෙන ලෙසයි.
අදාළ නිවාස අහිමිවූවන් 25 දෙනෙකුගේ අත්සන්වලින් යුතු එම ලිපි භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දැක්වූ උමාඔය කැණීම් හේතුවෙන් නිවාස අහිමිවූවන්ගේ එකමුතුවේ සභාපති ලලිත් විජේසුන්දර මහතා,
“උමාඔය ව්‍යාපෘතියේ භූගත උමඟ කැණීම් හේතුවෙන් සිදුවූ විනාශයන් නිසා නිවාස අහිමිවූවන් හට ඇල්ල දික්අරාව ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබාදීමට අදාළ බලධාරීන් පියවර ගනු ලැබුවද එම ඉඩම් මීට පෙර නායයාමේ අවදානම් සහිත ප්‍රදේශයක් ලෙස නම් කළ ප්‍රදේශයක් වීම හා එහිද ළිං සිඳීයාම ඉදිකිරීම්වල බිත්ති පුපුරා යාම වැනි හානි සිදුව තිබීම නිසා තමන් එම ඉඩම් ප්‍රතික්ෂේප කළ බව පැවසීය.
එසේම උමාඔය ව්‍යසනය හේතුවෙන් මේ වනවිට මෙසේ නිවාස අහිමිවූ සියලු දෙනා ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටින බැවින් තම ආර්ථිකය ගොඩනඟාගැනීමේ යම් ව්‍යාපාරයකට හා පදිංචියට සුදුසු ඉඩම් ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මීට පෙර ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී එකඟවී ඇති පරිදි ඇල්ල කොට්ඨාසයේ කිනලන් වත්ත ආශ්‍රිතව පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම්වලින් මෙම විසිපස් දෙනා හට බිම් කොටස් ලබාදෙන ලෙස තමන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවද විජේසුන්දර මහතා පැවසීය.