උමාඔය ව්‍යාපෘතියේ සම්පූර්ණ ඉදිකිරීම් තව මාස හයකට පෙර නිමකොට ඉන් විදුලිය උත්පාදනය කිරීමට පියවර ගන්නා බවත් එහි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම ප්‍රමාදවන දිනක් පාසා විදුලි බල මණ්ඩලයට අහිමි වන මුදල දිනකට රුපියල් කෝටි එක හමාරක් පමණ වන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) දහවල් ඇල්ල කරඳගොල්ලේ පිහිටි උමාඔය විදුලි බලාගාර පරිශ්‍රයේ සිදුකළ නිල සංචාරයකින් අනතුරුවය.
වත්මන් කොරෝනා අවදානම් තත්ත්වය හා කලකට පෙර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවැති විරෝධතා ආදී හේතු මත මෙම ව්‍යාපෘතිය නියමිත කාලයට අවසන් කිරීමට නොහැකි වුවත් තවත් මාස හයක් තුළ ව්‍යාපෘතිය නිමකළ හැකි බවට අදාළ ඉදිකිරීම් සමාගම ප්‍රකාශ කරන අතර ඊටත් පෙර එහි සම්පූර්ණ කටයුතු නිම කිරීමට උත්සාහ ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
එසේම කොරෝනා වසංගතය හේතුවෙන් සිය රටවලට යැවුණු මෙම ව්‍යාපෘතියේ සේවය කළ අත්‍යවශ්‍ය විදේශීය ශ්‍රමිකයින් යළි ගෙන්වා ගැනීම වැනි කටයුතුද සිදුකළ යුතු බවත් මෙය කඩිනමින් අවසන් කිරීමෙන් විදුලිය, පානීය ජලය හා වාරි ජලය සැපයීම ඇතුළු සේවාවන් රාශියක් ඉටුකරගත හැකි වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද වැඩබිම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර උමාඔය ව්‍යාපෘති අධ්යක්ෂ සුනිල් ද සිල්වා, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ද ෆරාබ් සමාගමේ නියෝජිතයින් ඇතුළු ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ අදාළ නිලධාරීන් රාශියක්ද එම අවස්ථාවන්ට සහභාගි වූහ.
හාලිඇල - විජේරත්න රත්නායක