දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බැවින් නව පක්ෂයක් ඇරඹීම සඳහා ජනතාවගෙන් අදහස් ලබාගැනිමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා සභාපතීත්වය දරණ දෙමළ ජාතික සභාවේ කාර්යාලයක් යාපනය කන්දර් මඩම්හි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"අලුත් පක්ෂයක් ආරම්භ කිරීම සඳහා ඔබලාගේ අදහස් ලබාගැනීමට මම කැමැත්තෙන් පසුවනවා. හැබැයි නව පක්ෂයක් ආරම්භ කිරීම පහසු කටයුත්තක් වුණත් එය පවත්වාගෙන යෑම පහසු නැහැ.
නව පක්ෂයක් ලියාපදිංචි කරන්න කාලයක් යනවා. එමෙන්ම මැතිවරණයකදි කුමන ලාංඡනයකින් තරඟකරනවාද යන ප්‍රශ්නයත් පැන නගිනවා.
2009 දී දෙමළ ජාතික සන්ධානය භාරගත් නායකත්වය සහ ඒ අයගේ ක්‍රියාකාරීත්වය උතුරේ ජනතාව අතර පරාජය වෙලා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
දෙමළ ජනතාව වෙනුවෙන් නායකත්වය ලබා ගන්න කියල මට ගොඩක් පාර්ශව යෝජනා කරනව ඒකට උත්තරයක් දෙන්න ඕන කියන වගකීම මට තියනවා. අවුරුද 60 ක් තිස්සේ දෙමළ ජාතික දේශපාලනය විසින් ඉතිහාසය මට භාරදුන්න වගකීම මම හොඳින් තේරු අරන් තියෙන්නේ.
2013 වසරෙ පටන් ගත්ත උතුරු පළාත් සභාවේ ආයු කාලය තව සති කිහිපයකින් ඉවර වෙනවා. ඉන් පසුව එලඹෙන දේශපාලනය ගැන හොඳින් සංකීර්ණ විදිහට කල්පනා කරලයි තියෙන්නේ ඒ ගැන දෙමළ ජාතික සභාව ගැන සාකච්ඡා කරල තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.”