උතුරු මැද පළාතේ පාසල් ඉදිරි සතියේ දී ආරම්භ කිරීමට, උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබෙන බවත්, පැතිර යන වසංගත හමුවේ දරුවන්ගේ ආරක්ෂාවට එය බරපතළ තර්ජනයක් වන බව ලංකා ගුරු සංගමය පවසයි.
අද (3දා) අනුරාධපුර නගරයේ දී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, මෙසේ පැවසීය.
“උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් විසින් පසුගිය 28 වනදා උතුරු මැද ආණ්ඩුකාරවරයා සමග පැවති සාකච්ඡාවක් පදනම් කර ගෙන උතුරු මැද පළාතේ පාසල් ඉදිරි සතිය තුළ පාසල් ආරම්භ කරන ලෙසට තීරණය කර තිබෙනවා.
මෙහිදී පාසල් ආරම්භ කිරීමට නිර්ණායකයන් හයක් ගැන අවධානය යොමු කර තිබෙනවා. ළමුන් 100ට අඩු පාසල් මෙන්ම, ග්‍රාමීය පාසල්, පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා නොකරන, පාසල් තිබෙන ගම් ප්‍රදේශ වලම ගුරුවරුන් සිටින පාසල් වශයෙන්. සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ වගකීම විදුහල්පතිවරයා විසින් දරන්න හැකි පාසල් ආරම්භ කරන්න කියලා මෙහි සඳහන් කර තිබෙනවා. මෙය බරපතළ ගැටලුවක්.
මෙම සාකච්ඡාව පවත්වා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ආණ්ඩුකාරවරයා ඇතුළු කණ්ඩායමක්. ලොව පුරා පැතිර යන බරපතළ මෙවැනි වසංගත රෝගයක් පිළිබඳව මේ අයට දැනුමක් නැහැ. ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරල තිබෙනවා, පාසල්, උසස් අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම දැනුම් දෙනතුරු විවෘත කරන්න එපා කියලා,
මෙහි බරපතළම කාරණාව තමයි පාසල් විවෘත කල පසු සියලුම වගකීම් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට පැවරීම, අපි ඉල්ලා සිටින්නේ මේ ගැටලුවේදී සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් එක්ක කටයුතු කරන්න කියලයි. විශේෂයෙන්ම ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට මෙහි අවදානම පවරලා දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලන්න එපා කියලත් අපි ඉල්ලා සිටිනවා. ලංකා ගුරු සංගම විදියට අපිත් පාසල් ආරම්භ කළ යුතුයි කියන මතයේ සිටිනවා, එහෙත් පාසල් දරුවන්ගෙ සුරක්ෂිතභාවය තහවුරු විය යුතුයි. පාසල තුල සමාජ දුරස්ථභාවය පිළිබඳව ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වගකීම දරන්න අමාරුයි. අපි ඉල්ලන්නේ මේ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් මධ්‍යම ආණ්ඩුව විසින් සකස් කරලා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලැබෙනකම් පාසල් විවෘත කරන්න එපා කියලයි"