උඩවලව ජාතික වනෝද්‍යානය සඳහා බලංගොඩ, හඳගිරිය ප්‍රදේශයෙන් නව පිවිසුමක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.
රත්නපුරය හා මොනරාගල දිස්ත්‍රික්ක දෙක මධ්‍යයේ පිහිටා ඇති මෙම වනෝද්‍යානය සඳහා දැනට ඇති එකම ප්‍රවේශ මාර්ගය පිහිටා ඇත්තේ උඩවලව - තණමල්විල මාර්ගයේ හතේ කණුව ආසන්නයෙන්ය. අලුතින් ඉදිවන උඩවලව වනෝද්‍යානයේ දෙවැනි මාර්ගය වන මෙම බලංගොඩ, හඳගිරිය ප්‍රදේශයෙන් ආරම්භ වන උද්‍යාන පිවිසුම හා උද්‍යාන අභ්‍යන්තර මාර්ග පද්ධතියද මේ වන විට සකස් කර අවසන්ය.
පරිසර හිතකාමී ලෙස සකසා ඇති එම මාර්ගය කිලෝමීටර් 20ක් පමණ වේ. තවද දෙස්විදෙස් සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම්ද මේ වන විට එහි ඉදිකෙරෙමින් පවතී.
උඩවල ජලාශය ඉදිකිරීමෙන් පසු එම ජලපෝෂක ප්‍රදේශය හා එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන අලිඇතුන් ඇතුළු අනෙකුත් වනසතුන්ගේ ආරක්ෂාව උදෙසා 1972 වසරේදී ජාතික වනෝද්‍යානයක් ලෙස උඩවලව නම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සබරගමුව පළාත් සභාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සබරගමුව විශ්වවිද්‍යාලය එක්ව ක්‍රියාත්මක කෙරේ.
නිවිතිගල හසල බුද්ධික