උඩවලව ජාතික වනෝද්‍යානයට 05 කණුව ප්‍රදේශයෙන් ඇතුළුවූ අයෙකුට ඊයේ (21) වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී නියාමකවරයෙකු හම්බේගමුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙඩිතැබීමෙන් සෙවනගල සම්පත්ගම අංක 816 හි පදිංචි විජේමුණිගේ කසුන් චාමර (25) නැමති තරුණයෙකු ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ඔහුගේ හිසට,ගෙලට,උරහිසට සහ දකුණු පාදයට වෙඩි වැදීමෙන් සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තුවාලකරු ගවයින්ට තණකොළ කැවීමට උඩවලව ජාතික වනෝද්‍යානයට ගිය අවස්ථාවේදී වනජීවී නිලධාරීන් වෙඩි තැබූ බව පවසා ඇතත් වනජීවී නිලධාරීන් පවසන්නේ ගිනිඅවි සමඟ තරුණයින් දෙදෙනෙකු යාල රක්ෂිතයේ සිටිනවා දැක ඔවුන්ට නතර වන ලෙස සංඥා කලවිට ඔවුන් තමන්ට තුවක්කුව එල්ල කළ බවත් ඒ නිසා වනජීවී නිලධාරීන් පෙරළා ඒ දෙසට වෙඩි තැබූ බවයි.
නමුත් කිසිවෙකුට තුවාලවූ බව ඒ අවස්ථාවේ දැනගැනීමට නොලැබුණු බවයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වනජීවී නියාමකවරයා සහ ඔහුගේ ගිනිඅවිය අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
තණමල්විල සහකාර පොලිස් අධිකාරි ඒ.එච්.එස්. කරුණාරත්න මහතාගේ උපදෙස් පිට හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ඩී.එම් විජේසුන්දර මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක