දඹුල්ල ප්රදේශයේ ස්ථාන කිහිපයක නවාතැන්ගෙන ඊෂි කෑෂ් ක්රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් සිවුදෙනකු මත්කුඩු ද සමග සැකපිට අද (25) දින දඹුල්ල නගරයේ ස්ථාන හතරකදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිවුදෙනා අතර සොරබොර වැව ජනපදයේ පදිංචි ආදිවාසී තරුණයකු ද සිටින බව පොලීසිය පවසයි.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රමරත්න මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලීසිය උපපොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික උපපොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් රහසිගතව හෙරොයින් මිලදී ගන්නා මුවාවෙන් ගොස් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත .
මුලින්ම හෙරොයින් මිලිග්රෑම් දෙදහසක් සමඟ සලක බටුමුල්ල ප්රදේශයේ පදිංචි වන වයි .එම් .ජී .ජයවීර බණ්ඩා නමැති අයකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්රශ්න කිරීමත් සමඟ දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන ඩබ්ලිව් .ජී .රන්ජිත් අබේසිංහ යන අයකු තවත් හෙරොයින් මිලිග්රෑම් පන්දහසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඔවුන්ගෙන් ප්රශ්න කිරීම්වලදී මහියංගණය ප්රදේශයේ සොරබොර ජනපදයේ පදිංචි ශානක නලින් සංජිව නමැති තරුණයෙකු හෙරොයින් මිලිග්රෑම් විස්සක් සමග හා ගිරාගොල්ල බතලයාය ප්රදේශයේ පදිංචි පුබුදු චන්දන නමැති තවත් තරුණයකු මිලිග්රෑම් විස්සක් සමග මත්කුඩු මිලදී ගන්නා මුවාවෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
කාලයක් තිස්සේ මෙම පුද්ගලයන් දඹුල්ල ප්රදේශයේ ස්ථාන කිහිපයක ලැගුම් ගනිමින් ඊසි කෑෂ් ක්රමයට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක් ක්රියාත්මක කරගෙන යන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.
සොරබොර ජනපදයේ පදිංචි තරුණයා ආදිවාසි තරුණයකු බවත් ඔහු නම වෙනස් කරගෙන සිටින අයෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඒ අනුව මිලිග්රෑම් පන්දහසක් සහ විසිදහසක් ළඟ තබා ගත් සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්රශ්න කිරීමට යන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රමරත්න මහතා සඳහන් කළේය.
සොරබොර ජනපදයේ සහ බතලයාය ප්රදේශයේ පදිංචි කරුවන් දෙදෙනා හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අධිකරණයට අද දින ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.
දඹුල්ල - කාංචන කුමාර