ඊශ්‍රායල් රාජ්‍යයේ රුකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නම් පුද්ගලයෙකි. මොහු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් විදේශගත කිරීම සඳහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයන් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත්ද විමර්ශන නිලධාරීන් භාරයට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
සැකකරු පුස්සැල්ලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 100,000ක ශරීර ඇප දෙකක් මත මුදාහළ බවත්, එළඹෙන 26 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇති බවත් ඔවුහු පවසති.
මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක එච්.එම්. කුමාරසිංහ, පොලිස් පරීක්ෂක කේ.කේ.එස්.පී. ෆර්ඩිනැන්ඩු, පොදු සහකාර සමන්ත ප්‍රේමසිරි යන නිලධාරීහු එක්වූහ.