ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී, හදිසියේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා, යළි ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 ක් යළි මව්බිම වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1145 දරන එම ගුවන් යානය උදෑසන 6.15 ට කටුනායක ගුවන් තොටුපළෙන්, ඉන්දියාවේ අමිර්තසාර් ( Amritsar ) බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් ගමන සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 320 – 214 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.මෙම ගුවන් යානය මගීන් නොමැතිව ඉන්දියාව වෙත පිටත්ව ගිය අතර, එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව සමස්ථ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි.
ඉන්දියාවේ රැදී සිටින සිසුන් රැගෙන අද දහවල් 2.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය. මේ අතර ඩුබායි හි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ අනුමැතිය ලබා ගෙන තිබුණි.
ඔවුන් අද අලුයම 4.45 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, පසුව ඔවුන් සහ ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත ඇතුළු කර ගැනීමට පෙර විෂබීජ හරණය කිරීමට ද ලක් කෙරුණි. ඉන්පසුව මෙම ගුවන් මගීන් දෙදෙනා නීරෝධායන කටයුතු සඳහා, එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත යොමු කර තිබුණි.