ඉන්දියාව ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 90,802ක් වාර්තා කිරීමත් සමග, එරට සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,204,613ක් දක්වා ඉහළ යමින්, ඉන්දියාව බ්‍රසීලය අබිබවා ලොව දෙවැනි වැඩිම ආසාදන වාර්තා වන රට බවට පත්ව තිබේ.
ඒ අනුව මේ වනවිට ආසාදිතයන් 70,000කින් පමණ බ්‍රසීලය දැන් ඉන්දියාවට වඩා පසුපසින් සිටින අතර, ඇමෙරිකා එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 6.3කට ආසන්න අගයක් සමග තවමත් පෙරමුණේ පසුවෙයි.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ නව මරණ 1,016ක් වාර්තා කර තිබුණේ, අඛණ්ඩව දින 5ක් ආසාදිත මරණ 1,000ක් ඉක්මවා යමිනි. මේ සමග ඉන්දියාවේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 71,642ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ ආසාදිතයන් ඉහළ ගියද දිල්ලි මෙට්‍රෝ දුම්රිය මාස 5කට පසුව යළි ආරම්භ වී තිබේ. මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය සමග උෂ්ණත්ව පරීක්ෂාවකින් පසුව රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන්ට දුම්රියේ ගමන් කිරීමට අවසරය හිමිවන බව කියයි.
කෙසේ වෙතත් ඉන්දියාවේ ආසාදන මේ ආකාරයෙන් වේගවත් වෙමින්, ඉන්දියාව වසංගතයේ නවතම අපිකේන්ද්‍රය බවට පත්වෙමින් තිබීම දකුණු ආසියානු අසල්වැසි රාජ්‍යයන්ද වෛරසය සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් සිටිය යුතු අවස්ථාවක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම මුඛ ආවරණ පැලඳීම, දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැදගත්කම දැන්ම ඉස්මතු කළ යුතු වන්නේ, අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් ඵලක් නොවන නිසාය.