ශ්‍රී ලංකාවේ ධීවර කාර්මිකයන් මුහුණපාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා සමග පැමිණි සමස්ථ ලංකා පොදු ධීවර සංගමයේ ලේකම් රත්න ගමගේ මහතා හා බහුදින ධීවර යාත්‍රා සංගමයේ සභාපති රුවන් මහතා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමග අද (07දා) ධීවර අමාත්‍යංශයේ දී වෙන වෙනම පැවැත්විණි.
මෙහිදි සමිති නියෝජිත පිරිස් පෙන්වා දෙන ලද්දේ ඉන්දියානු ධීවරයන්ගේ දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සම්පත් ආක්‍රමණය හා මෙරට ධිවරයන් ඉන්දියන් සාගරය හරහා අරාබි මුහුදු සීමාවට ඇතුල්වීමේදි ඉන්දීය වෙරළ ආරක්ෂක භටයන් විසින් සිදුකරණ පහරදීම් තුළින් විදීමට සිදුවන කරදර විශාල වශයෙන් පවතින බවත්, එම හරිහැර නතර කර දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදි අදහස් දැක්වු ධීවර අමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දියානු ධිවරයන්ගේ ආක්‍රමණශීලි ක්‍රියා වසර කිහිපයක් තිස්සේ පවතින බවත්, මෙම ප්‍රශ්ණය පිළිබදව තමන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වට 4 කට අධික ප්‍රමාණයක් පවත්වා ඇති අතර සාර්ථක විසදුමක් කරා එළබීමට අවශ්‍ය පදනම සාකච්ඡා කර ඇති බවත්, ඒවා සාර්ථක අන්දමින් ධනාත්මකව සිදුවන බවද පැවසීය. විශේෂයෙන් ඉන්දියානු ධීවරයන්ගේ ආක්රමණයේ බලපෑම උතුරු පළාතට සිදුවීම හේතුවෙන් එය වැඩිපුර බලපාන්නේ තම පළාතේ ධීවරයන්ට බවද, මෙසේ මෙම ආක්‍රමණ වලට ඉඩ දුනහොත් ශ්‍රි ලංකා මුහුදේ ධීවර සම්පත් වසර 03,04 කින් සම්පුර්ණයෙන්ම විනාශ වීය හැකි බව ද පවසන ලදී.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය. තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය වසරේ ඉන්දීයාවේ සිදුකළ සංචාරයේදී මෙම ගැටලුව විසදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරිපත්කළ බවත්,එම වැඩ පිළිවෙල ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද පිළිගන්නා අතර ලෝකයම වසා ගනිමින් පැතිරුණු කොරෝනා උවදුර හේතුවෙන් එය ක්‍රියාවට නැංවීමට නොහැකි විය.
එහෙත් මේ දින වල ඉන්දියාවේ පවතින මැතිවරණයෙන් පසු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහයෝගය ද ලබා ගනිමින් මෙම ගැටලුවට ස්ථීරසාර විසදුමක් ලබා ගැනීමට කටයුතු කරණ බවත්, එතෙක් තාවකාලිකව බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කිරීමට ද කටයුතු කරන බවද දන්වා සිටියේය.තවද නාවික හමුදාවට නීති විරෝධි ධීවර යාත්‍රා අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය බලතල ලබා දී ඇති බවද පැවසීය.