ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (05දා) සවස 4.20 ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ සිටියහ.
මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ උසස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා කීපයක් පැවැත්වීමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.