ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය තුළදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවලදී දේශපාලනික, වෙළෙඳ හා ආයෝජන, සංවර්ධන සහයෝගිතාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් සම්බන්ධයෙන් දෙරට අතර, පවතින සබඳතා වැඩි කිරීම පිළිබඳ අවධානය යොමුකළ බවද එම නිවේදනයේ දැක්වෙයි.
ලෝකය මෙන්ම කලාපයේ ගැටලු පිළිබඳ නායකයන් දෙපළ අතර සාකච්ඡා සිදුවූ බවත්, 2017 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේ වර්ධනය පිළිබඳවත් ඔවුන් අතර සාකච්ඡා පවත්වා ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ඉහත නිවේදනයේ කිසිම අවස්ථාවක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කනගාටුව ප්‍රකාශ කළ බව සඳහන්ව නොමැත.
නමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ 2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කනස්සල්ලට හා කනගාටුවට හේතු වී ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූ බවයි.