ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව අලුත් මට්ටමකට වර්ධනය කරමින් ඉන්දු - පැසිෆික් එන්ඩේවර් 2019 වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කණ්ඩායමක යුද, නාවික සහ ගුවන් හමුදා අංශ අද (23දා) ශ්‍රී ලංකා සංචාරය ඇරඹීය.
ඒ අනුව, ඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම උත්සවාකාරයෙන් සනිටුහන් වූ අතර, ඊට සමගාමීව පැරමැට්ටා සහ සක්සස් යන නෞකා ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණීමට නියමිතව තිබුණි.
කොළඹ වරාය වෙත මුලින්ම පැමිණි HMAS කැන්බරා නෞකාව ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව සතු විශාලතම ගුවන් යානා හාරක නෞකාව වන අතර, එය සුවිසල් හෙල්කොප්ටර් අංගනයකින් සමන්විත සුවිශේෂී නෞකාවකි. මෙම දැවැන්ත නෞකාවට ආරක්ෂාව සපයමින් නිවුකාසල් නෞකාව කොළඹ වරාය වෙත පැමිණීමද උත්සවාකාරයෙන් සනිටුහන් විය.
කොළඹ හා ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණි නෞකා පිළිගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්යවාදන මැද සිදුවූ අතර, මෙම නෞකාවලින් 1,000කට අධික ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජික පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් එලැඹෙන 30දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ඊට පෙර ශ්‍රී ලංකාව සමග ආපදා සහයෝගීතා සැලසුම්, සහයෝගය වර්ධනය කරන නාවික උපක්‍රම සහ හමුදා පුහුණු ක්‍රියාකාරකම්, හුරුපුරුදුකම්, අන්තර්ක්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා හමුදාවන් එක්ව කටයුතු කරනු ඇති බව මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ වැඩබලන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජෝන් පිලිප් මහතා සඳහන් කළේය.