ආණ්ඩුවට පසුගිය වසර තුනේදී ලකුණු රැස්කරනවාට වඩා කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සිදුවී තිබූ බවත්, දැන් කඩුලු ආරක්ෂා කරගනිමින් අවශ්‍ය ලකුණු ප්‍රමාණය රැස්කරමින් තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මොනරාගලදී ඊයේ(29දා) ආරම්භ වූ ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ගත වූ වසර 3 තුළ සිදු කළේ මොනවාදැයි ඇතැමුන් අපෙන් විමසනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ භාෂාවෙන් කියනවා නම් අප පළමුවෙන් කළේ අපේ කඩුලු රැක ගැනීමයි. අපට ලකුණු රැස් කිරීමට පෙර කඩුල්ල රැක ගැනීමටයි සිදුව තිබුණේ. ඉදිරියට එන පන්දුව දෙස බලමින් කඩුලු ආරක්ෂා කරගනිමින් අප පන්දුවලට පහර දුන්නා. නමුත් අද වන විට අප කඩුලුත් ආරක්ෂා කරගනිමින් අවශ්‍ය ලකුණුත් රැස් කරමින් සිටිනවා.
දැන් ඉදිරියට එන පන්දුවලට අපේ දෑස හොඳින් හුරු වී තිබෙන නිසා අපට වැරෙන් පහර දීමේ හැකියාව තිබෙනවා. 2013 වන විට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1137යි. නමුත් අපේ ණය වාරික ගෙවීමට රුපියල් බිලියන 1162ක් අවශ්‍ය වී තිබුණා. අප ණයවලින් පිරුණ ආර්ථිකයක් භාර ගත්තා.
2005 සිට 2015 දක්වා ඔවුන් මහාමාර්ග ඉදිකිරීම් කිලෝ මීටර 183ක් ඉදිකළා. නමුත් පසුගිය ආණ්ඩුවේ පරණ පව් ගෙවමිනුත් 2015 සිට 2017 දක්වා මහා මාර්ග කිලෝමීටර 185ක් ඉදි කිරීමට අපට හැකි වූ අතර මධ්‍යම අධිවේගයේ වැඩකටයුතු අවසන් වන විට එම ප්‍රමාණය තවත් වැඩි වෙනවා.
හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපොළ ආදිය සඳහා රුපියල් මිලියන ලක්ෂ 3ක් ගෙවීමට අපට සිදුව තිබුණා. අප වැඩකටයුතු ආරම්භ කළේ ඒ ණය කන්දරාව ගෙවා දැමීමෙන් පසුවයි. රාජ්‍ය ගොඩනැගිලි සංස්ථාව තමන් භාර ගන්නා විට මිලියන 530ක ණය මුදලක් තිබූ බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මා සමග පැවසුවා.
2015 වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් මිලියන 26250ක්. මේ ණය ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට අපට සිදුවුණා. තව ආදායම් මාර්ග ඇතිකිරීමට අකමැත්තෙන් හෝ ‘වැට්’ වැඩි කිරීමටත් ඒ වෙනුවෙන් බැනුම් ඇසීමටත් අපට සිදුවුණා. නමුත් අද අපිට ණය ගෙවීමේ හැකියාව ඇතිවී තිබෙනවා.
වසර තුනක් තිස්සේ අපේ කඩුලු ආරක්ෂා කර ගනිමින් අප කටයුතු කළා. දැන් ඔබේ පිත්ත අතට ගන්න. ගම්මානවලට යන්න, සංවර්ධන වැඩකටයුතු කරමින් ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ලකුණු රැස්කරන්න යැයි මම අපේ නියෝජිතයන්ට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
මේ රට 2025 වන විට දියුණු රටක් බවට පත් කරනවා. ඔබ වෙනුවෙන් රැකියා ඇති කිරීමට ආදායම් වැඩි කිරීමට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩසටහන් ගණනාවක් අප ක්‍රියාත්මක කරනවා. අපේ එකම අරමුණ ඔබ වෙනුවෙන් හොඳ අනාගතයක් නිර්මාණය කිරීමයි.” යැයි ප්‍රකාශ කළේය.