ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙද සේවය සඳහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමඟ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියාව සඳහා දෙවන ශ්‍රි ලාංකික හෙදිය 2019 අප්‍රේල් මස 11 වන දින ඇමරිකාව ලබා පිටත්ව ගියාය.
යූ.එම්.කාංචනා කුමාරි සෙනරත් බණ්ඩාර නම් එම හෙදිය කොළඹ ජාතික රෝහලේ සේවය කළ ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද නිලධාරිනියෙකි.
කාර්යාංශය මගින් පළමු වරට මෙම රැකියා වැඩසටහන දියත් කරන ලද අතර, අවශ්‍ය සුදුසුකම් ලත් තවත් 25ක පිරිසක් ඇමරිකාවේ හෙද රැකියා සඳහා පිටත්ව යාමට මේ වන විට පුහුණුව ලබා ඇත.
ඇමරිකාවේ හෙද සේවය සඳහා අවශ්‍ය සුදුසුකම් ලෙස හෙද වෘත්තියෙහි වසර දෙකක පළපුරුද්දක් ලබා වර්තමානය වනවිට සේවය කරමින් සිටිය යුතුය.
ඒ අනුව වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද සේවය පිළිබද උපාධියක් හෝ වසර 4ක ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබිය යුතු අතර, NCLEX විභාගය සමත් වීම හා IELTS විභාගය ඇමරිකානු ප්‍රමිතීන්ට අනුව සමත්වී තිබිය යුතුය. එසේම අයදුම් කරන දිනය වනවිට වයස අවුරුදු 45ට අඩු විය යුතුය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ හෙද රැකියා හිමිවන ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට මාසිකව ඇමරිකානු ඩොලර් 5000ක මූලික වැටුපක් හිමිවන අතර, තම පවුලේ ඥාතීන්ද එරටට ගෙන්වා ගැනීමේ හැකියාව හිමිවේ.
ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සුරක්ෂිත රැකියා පරිසරයක් ඇති කිරීම සඳහා කාර්යාංශය ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙම රැකියා අවස්ථා හිමිව තිබේ. එසේම අඩු වැටුපක් හිමිවන රැකියාවන් වෙනුවට වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාදීම සඳහා කාර්යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ ගතවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබේ.
ඇමරිකාවේ හෙද සේවය සදහා ශ්‍රි ලාංකික හෙදියන් බදවාගැනීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජූනි මස පළමු වෙනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ පිළිබද වැඩි විස්තර www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියෙහි පළකර තිබේ.