එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා සහ ලුසියානා ප්‍රාන්ත අද (02දා) දිනයේ කොරෝනා වසංගතයේ ඉහළම රෝහල් ගතකිරීම් සංඛ්‍යාව වෙත පැමිණ සිටි අතර, තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය නිසා එරට ප්‍රාන්ත කිහිපයකම රෝහල් පද්ධති බිඳ වැටීමේ මට්ටම කරා ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.
ඉරිදා වන විට ෆ්ලොරිඩාවේ ආසාදිතයන් 10,000කට වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති අතර, එය එම ප්‍රාන්තයේ වාර්තාව අභිභවා යාමකි. ලුසියානා හි පැය 24 තුළ එහි වාර්තාව බිඳ දමනු ඇතැයි අපේක්ෂා කළ අතර ඩිමොක්රටික් ආණ්ඩුකාර ජෝන් බෙල් එඩ්වර්ඩ්ස් නිවැසියන්ට නැවතත් ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ පලඳින ලෙස නියෝග නිකුත් කළේය.
එරට වෛද්‍යවරු පැවසුවේ වසංගතයේ අඳුරුතම දිනයන් වාර්තා වෙමින් පවතින බවය. ඔවුන්ට තවදුරටත් රෝගීන්ට ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වීමට අවස්ථාව නොලැබී යන බව ඔවුන් අවධාරණය කළේය.
මෙසේ රෝහල් පිරී ඉතිරී යන බවට අනතුරු අඟවමින් කඩිනමින් එන්නත ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් වෛරසය හේතුවෙන් බොහෝ හෙදියන් අසනීපව සිටින අතර, 6,000ක සේවක හිඟයක් ප්‍රාන්තයට ඉතිරි කළ බවද ඔවුන් පැවසීය.
මේ අතර ආකන්සාස් ප්‍රාන්තයේද රෝහල් ගතකිරීම් ඉහළ යමින් පවතින අතර, අවසානයේ වාර්තා බිඳ දැමිය හැකි බවද කියයි.
කැලිෆෝනියාවේ, සැන් ෆ්රැන්සිස්කෝ බේ ඒරියා පළාත් අටක දේශපාලන නායකයන් හෙට (03දා) මධ්‍යම රාත්‍රියේ සිට පොදු ස්ථානවල සහ ගෘහස්ථ ස්ථානවල අනිවාර්ය මුඛ ආවරණ නීතිය ස්ථාපිත කළේය.
නිව්යෝක් සහ නිව්ජර්සි හි ආණ්ඩුකාරවරුන් පැවසුවේ ප්‍රවාහන, බන්ධනාගාර, රෝහල් සහ සාත්තු නිවාස සේවකයන්ට එන්නත ලබාදීම හෝ නිතිපතා පරීක්ෂණයකට භාජනය කිරීම අවශ්‍ය බවයි. ඩෙන්වර් නගරාධිපති මයිකල් හැන්කොක් පැවසුවේ නගරයේ 11,000කට අධික සේවකයන් සඳහා එන්නත් කිරීම අනිවාර්ය කරන බවය.
නිව්යෝක් තත්ත්වය යළි කඩා වැටේ
නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියුමෝ මත්පැන් හල්, ආපනශාලා සහ අනෙකුත් පෞද්ගලික ව්‍යාපාරවලින් ඉල්ලා සිටියේ පාරිභෝගිකයන් කැඳවීමට පෙර ඔවුන් එන්නත් ලබාගෙන ඇති බව පරීක්ෂා කරන ලෙසයි. එසේම ආසාදන අඩු නොවන්නේ නම් සාත්තු නිවාස සේවකයන්, ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන් සඳහා එන්නත් අනිවාර්ය කළ හැකි බව කියුමෝ පැවසීය.
නිව් ජර්සි ආණ්ඩුකාර ෆිල් මර්ෆි යෝජනා කළේ පදිංචිකරුවන් සහ ව්‍යාපාර සඳහා තවදුරටත් සීමාවන් පැනවීම ගැනද සලකා බැලීමට සිදුවනු ඇති බවයි.
කොරෝනා වෛරසයේ බෙහෙවින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ඉහළ යත්ම, එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නන් සහ එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන්නන් එන්නත් සඳහා පොලඹවා ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයින් ගත් නවතම උත්සාහයන් මෙම පියවරයන්ගෙන් නියෝජනය වේ.
එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ෆ්ලොරිඩා ප්‍රාන්තය එරට වසංගතයේ නවතම අපිකේන්ද්‍රය බවට පත්ව ඇති අතර, රටේ රෝහල් ගත කර ඇති කොවිඩ්-19 රෝගීන්ගෙන් හතරෙන් එකක් පමණ ෆ්ලොරීඩාවෙන් වාර්තා වෙයි.
ෆ්ලොරිඩාවේ රෝහල් සංගමයේ ප්‍රධානී මේරි මේයු පැවසුවේ නවතම ආසාදන රැල්ල හේතුවෙන් දින 30ක් වැනි කෙටි කාලයක් තුළදී රෝහල් ගත කිරීම් 2,000 සිට 10,000 දක්වා ඉහළ ගිය නමුත් මරණ උපරිම මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක තවමත් පවතින බවයි.
"රෝහල් ගත කරනු ලබන්නේ බෙහෙවින් බාල වයස් කාණ්ඩයක්" යැයි මේරි පැවසීය. "පසුගිය වසර කිහිපය තුළම, බොහෝ බරපතල රෝගාබාධ සහිත පුද්ගලයින් සහ අපේ වැඩිහිටියන් සඳහා කොවිඩ් වෛරසයෙන් වැඩිම අවදානමක් ඇති බව බොහෝ දෙනෙකුට නැවත නැවතත් අසන්නට ලැබුණත්, ඩෙල්ටා ප්‍රභේදය පැහැදිලිවම තරුණයින් සඳහා සැලකිය යුතු අවදානමක් ගෙනෙනවා."