ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර ඇති රුපියල් මිලියන පහකුත් පන්ලක්ෂ විසි දහසක් වටිනා ආනයනය තහනම් කර ඇති වියලි කහ කිලෝග්රෑම් 15,251 ක් අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා රේගුව අද (01ද) කටයුතු කර තිබේ.
ඒ අනුව මෙම නීති විරෝධී ආනයන මගින් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන එකකුත් පන්ලක්ෂ පනස් පන්දහසක් බව මේ වන විට ගණන් බලා ඇත.
ශ්රී ලංකා රේගුවේ ප්රධාන නිවාරණ නිලධාරි සේනක ඇරැව්පොල මහතාට ලද තොරතුරක් මත නිවාරණ අංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් අද දින පරීක්ෂා කර ඇත. ඒ අනුව මෙම බහාලුම මෙරටට ගොඩ බාන අවස්ථාවේ දී රේගුවට ප්රකාශ කර අත්තේ එහි පිරිසිදු කපුරු (Refined Naphthalene) කිලෝග්රෑම් 16,000 ක් අඩංගු පෙට්ටි 507 ක් ඇති බවයි.
කෙසේ වුවද බහාලුම පරීක්ෂා කිරීමේ දී එහි තුල තිබී රුපියල් මිලියන පහකුත් පන්ලක්ෂ විසි දහසක් වටිනා මෙරටට ආනයනය තහනම් කර ඇති වියලි කහ කිලෝග්රෑම් 15,251 ක් සොයා ගෙන ඇත.
මෙම වියලි කහ තොගය ඉතා සූක්ෂ්ම ලෙස පෙට්ටි 504 ක් තුල අසුරා පිරිසිදු කපුරු ලෙස ප්රකාශ කොට රේගුව නොමග යවා රට තුලට ඇතුළු කිරීමට උත්සාහ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන රේගු නිවාරණ අංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා එම භාණ්ඩ රාජසන්තක කොට ආනයන කරුට වැඩිදුර දඩ පැනවීමට නියමිත බව ශ්රී ලංකා රේගුව ප්රකාශ කළේය .