වර්තමාන ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අවසාන මොහොතේ හෝ නිවැරදි තීන්දු ගත යුතු බවත්, එකිනෙකා සතුටු කිරීමට වැරදි තීන්දු නොගත යුතු බවත් 2022 අයවැය දෙවන වර කියවීම පිළිබඳ හත් වැනි දිනටත් අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර, කාබනික පොහොර තීන්දුව ආපසු හැරවීමට තීරණය කළ බව කෘෂි කර්ම ආමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන බවත්, මෙරට ගොවිජනතාව වෙනුවෙන් ගත් එම තීරණය නිවැරදි තීන්දුවක් බව සඳහන් කරන බවත් සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
"අද වනවිට අපේ මාතෘ භූමියත් දැවැන්ත ආර්ථික ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින මොහොතක එදා ලෝක ආර්ථික අවපාතය සිදුවුණු මොහොතේ ෆ්රැන්ක්ලීන් ඩිලානෝ එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කරපු ආකාරයට, ඒ වගේම චාල්ස්ට් ඩිගෝල් ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට අපි මේ ප්‍රශ්නයට නිවැරදි දැක්මක් තුළින් මුහුණ දුන්නොත් අපට මින් ගොඩ එන්න හැකියාව තිබෙනවා කියන එක කියන්න කැමැතියි. අද සම්ප්‍රදායෙන් බැහැරව ගිහින් අයවැය පිළිබඳ තිබෙන යෝජනා විවේචනය කරනවා වෙනුවට රට මුහුණ දෙන ප්‍රශ්නවලට අප විශ්වාස කරන විසඳුම් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. අපි කිසිසේත් විශ්වාස කරන්නේ නෑ වෙළෙඳ පොළ බලපෑම්වලට පමණක්, ඉල්ලුමට සැපයුමට පමණක් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඍජු රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි. අද මේ සිදුවී තිබෙන මහා ව්‍යසනකාරී තත්ත්වයෙන් අපි ගොඩ එන්න ඕන. අපට ගොඩ එන්න පුළුවන්. නිවැරදි දැක්මක් සහිතව, එක් ප්රතිපත්තියක සිට කටයුතු කරන්න ඕන.
එදා දේශපාලන ක්ෂේත්රයේ පරුෂ වචනයක් ලෙස සලකපු මිල සූත්‍රය ගැන නිලධාරීන් දැන් දැන් කතා කරනවා. එදා මිලසූත්‍රය ගැන කතා කළාම ප්රතිපක්ෂ ආර්ථික විශේෂඥයෝ එක දවසට තිබුණා ප්රවෘත්ති සාකච්ඡා තුන හතර. දැන් අර භාණ්ඩාගාර ලේකම් ආටිගල මහත්මයා කියනවා මිල සූත්‍රයක් අපි කරමු. ඒත් ආණ්ඩුව එකඟ ද නැද්ද කියන එක ප්‍රශ්නයක් කියලා. ශක්තිමත් ස්ථාවරයක සිට ලෝන් රී ෂෙඩූල් කර ගන්න ඕන. ජාත්‍යන්තර ආයතනත් සමග ගනුදෙනු කරන්න ඕන. ජාත්‍යන්තර ආයතන සමග ගනුදෙනු කිරීම වැරැද්දක් නෙවෙයි.
මේ වසරේ ආණ්ඩුව එකවරම තීරණය කළා රසායනික පොහොර තහනම් කරන්න. ඒකෙන් පුදුම තිගැස්මක් කෘෂිකර්ම ක්ෂේත්රයේ තිබුණා. ඒ සියල්ලට පස්සේ අපට ඊයේ දවසේ අහන්නට ලැබෙනවා කෘෂිකර්ම ආමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා %කාබනික පොහොර තීන්දුව අපි වෙනස් කර ගත්තා. මේ රටේ ගොවිජනතාව වෙනුවෙන් අපි විශ්වාස කරනවා ඒක නිවැරදි තීන්දුව කියලා^. ලේකම්තුමා එහෙම කිව්වට පස්සේ කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කරනවා තවම එහෙම තීන්දුවක් අරගෙන නෑ කියලා. ඇමති එකක් කියනවා, අමාත්‍යාංශ ලේකම් තව එකක් කියනවා. කනගාටුවෙන් හෝ කියන්න ඕන ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නෑ. ඔළුව දන්නේ නෑ කඳ කරන දේ. කඳ දන්නේ නෑ කකුල් දෙක කරන දේ. කකුල් දෙක දන්නේ නෑ අත්දෙක කරන දේ. කිසිදු සන්නිවේදනයක් නෑ. මේ අවසාන මොහොතේ හරි නිවැරදී තීන්දුව ගන්න. එක එක්කෙනා සතුටු කරන්න වැරදි තීන්දු ගන්න යන්න එපා. රටට කියන්න අපට වැරදුණා ඒ පිළිබඳ සමාව ගන්නවා කියලා" යනුවෙන්ද සඳහන් කළේය.