ආණ්ඩුවට හරිමග යාමට මග පෙන්වන හා වැරදි දේවල් පෙන්නා දෙන භික්ෂූන් වහන්සේලා හා විවිධ ජාතික සංවිධාන මර්දනය කිරීමට රජය පෙළඹී සිටීම බරපතල වැරද්දක් යැයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසූවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්දයෙන් දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
“පසුගිය.ආණ්ඩුව ගෙදර යැවීමට උපදෙස් දුන් උපදේශක මණ්ඩලයමද මේ අපි පත්කරගත් ආණ්ඩුව විනාශ කිරීමට උපදෙස් ලබා දෙන්නේද යන සැකය දැන් අපට ඇතිවී තිබෙනවා .එය එසේමද කියා මේ රජයෙන් අප අසා සිටිනවා.
මේ ආකාරයට කටයුතු කරනු ලබන කවුරුන් හෝ වේවා රට අපහසුතාවයට පත්කරන පුද්ගලයන් සදහා තරාතිරම නොබලා දේශපාලනමතවාද පසෙකලා ඒ සෑම දෙනාටම මේ රටේ බලපවත්නා එකම නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි.
මැඩිල්ලේ හාමුදුරුවන් විසින් පවසන ලද කාරණාවක් සම්බන්ධයෙන් උන්වහන්සේට විරුද්ධව ඇති පැමීණිල්ල සම්බන්ධයෙන් පැය 24 ක් යන්නටත් මත්තෙන් උන්වහන්සේගෙන් කටඋත්තර ගැනීමට සී.අයි.ඩී. නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
නමුත් මේ රට විනාශකල කොටි සංවිධානයේ මහවිරු දිනය සැමරීම වළක්වාලමින් උසාවියෙන් නියෝගයක් පවා ලබාදී තිබියදී සුමන්දිරන් විසින් මේ රටේ පොදුනීතිය අභිබවමින් මහවිරු දිනය සැමරීමට කටයුතු කළේ කෙසේද කියාත් අපි රජයෙන් අසා සිටිනවා.
මේ ආකාරයට ඒකීය රටක් තුළ ක්‍රියාත්මක පොදු නීතිය පසෙකලා දෙමළ ජනතාවට වෙනම නීතියකුත් , මුස්ලිම් ජනතාවට වෙනම නීතියකුත් , සිංහල ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නේද කියා නීති විශාරචයින් අද අපෙන් අහනවා.
දැන් තිබෙන ගැටලු අනුව බලය නැති කාලේ තිබුණ මොලය බලය තියෙන කාලයේ මොලය නැති ගානට කටයුතූ කරනවාදැයි අපට හැගී යනවා.”
දෙහිවල එච් එම් ධර්මපාල