රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ නීතිය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ඔහු පවසන්නේ රටේ නීතිය කුඩුකර, දිය කර තම තමන්ට කැමති මෝස්තර අඳිමින් පාට කරමින් ආණ්ඩුවේ දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවයි. මේ හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන විජයවර්ධන මහතා මෙහි ආසන්නතම සිදුවීම ලෙස කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය පෙන්වා දුන්නේය.
එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රමුඛ රජයේ මැති ඇමැතිවරුන් මෙම පුරාවිද්‍යා උරුම සංහාරය පිළිබඳ පරස්පර විරෝධී අදහස් සහ පුරාවිද්‍යා නීතිය පිළිබඳ සත්‍ය තත්ත්වය විකෘති කරමින් මහජනතාව තවදුරටත් නොමඟ යවමින් සිටින බවයි. මේ දක්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බව ද පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා වරදකරුවන් ලෙස සමාජගත වූ කණ්ඩායම් සහ ආණ්ඩුවේ දේශපාලකයින් වත්මන් රජය යටතේ යහපත් පුද්ගලයන් ලෙස පෙනී සිටීමට අවශ්‍ය නීතිමය වටපිටාවක් සකස් කර ගැනීමේ උත්සාහයක නිරතවන බව ද සඳහන් කළේය.
කෙසේවෙතත් ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපයන් හමුවේ ජනතාවට ආණ්ඩුව පිළිබඳ දැඩි කලකිරීමක් නිර්මාණය වී ඇති බවත් එදා තමන්ගේ රුව හෝ තමාගේ ප්‍රතිරූපය හෝ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසත් මහමැතිවරණ වේදිකාවට තමා ගොඩ නොවන බවත් සඳහන් කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අද ආණ්ඩුව පිළිබද ඇති ජනතා අප්‍රසාදය හමුවේ ගමින් ගමට ගොස් රැස්වීම් පැවැත්වීමට සිදු ව ඇති බව සඳහන් කළා.
ඒ අනුව මෙම සියලු කරුණු හොදින් අවබෝධ කර ගනිමින් ජනතාව මෙවර මහ මැතිවරණයේදී තමන් සතු ඡන්ද බලය මැනවින් පාවිච්චි කිරීම සඳහා බුද්ධිමත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද රුවන් විජේවර්ධන මහතා මෙහිදී කළේය.
කොරෝනා වසංගතයේ අවදානම හේතුවෙන් සමස්තයක් ලෙස ජනතාව මෙවර ඡන්දය ලබාදීම සඳහා දක්වන උනන්දුව පහළ වැටී ඇති බවද ඔහු සඳහන් කළේය.
තත්වය එසේ වූව ද මෙවර මහමැතිවරණය මෙරට ආර්ථික,සෞඛ්‍ය සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන මහ මැතිවරණයක් වී ඇති බවත් , ආර්ථික හෝ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොමැති, ප්රජාතන්ත්රවාදයට ද අභියෝග කරන මෙම ආණ්ඩුව නැවත බලයට පත් කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය රටේ ජනතාව විසින් ගත යුතු බවත් පෙන්වා දුන් විජයවර්ධන මහතා පක්ෂ විපක්ෂ දේශපාලන භේදයකින් තොරව සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද සැළකිලිමත් වෙමින් සියලු දෙනා රට වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
විශේෂයෙන් මේ අවස්ථාවේදී රටත් , පක්ෂයත් ආරක්ෂා කිරීම සඳහා ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙස සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් තමා පක්ෂය වෙනුවෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කළේය.