කෝවිඩ් 19 හේතුවෙන් ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් ලබාදීමට රුපියල් කෝටි 850ක් වැය කළ ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවට හදිසියේ ලබාදීමට කටයුතු කරමින් නැවතත් 'මෙගාඩීල්' දැමීමට කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වයන් ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා නොකරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.
පාර්ලිමේන්තුව නැවත කැඳවුහොත් මෙවැනි ගණුදෙණුවල ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය, තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා, ටෙන්ඩර් කමිටු සංයුතිය වැනි දෑ ගැන ප්‍රශ්න කිරීමෙන් තමන්ට රිසි සේ මෙගා ඩීල්වලට යා නොහැකි බව දන්නා ආණ්ඩුව, මූල්‍ය බලය පවතින පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය කර තිබෙන බවද හිටපු අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සමඟි ජන බලවේගය විසින් අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
"ආණ්ඩුව සහ එයට සහය දෙන සහායක බල ඇණිය සියලු දෙනාම කියපු දේ තමයි 225 රැස් කරන්න එපා. නමුත් හිටිහැටියේ ඇයි 225 ඕන වුණේ මෙය අපට විමතියට කාරණයක්. ජනාධිපතිවරයා සහ සහයක බලඇණිය 225 එපා කියද්දී, අගමැතිවරයා 225 කැඳවන්නේ ඇයි?
මේ අය ඇඳිරිනීතිය හා ආධාර බෙදාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කළා. ඒ නිසා අපිට ඒ සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් ලැබුණෙ නෑ. ඒ නිසා අපි කියන්නෙ කැඳවන්න පාර්ලිමේන්තුව. දැනට එහි රඳවා සිටින හමුදාවෙ නිලධාරීන් අයින් කර ආරක්ෂාව යොදා පොලීසියට බලය දෙන්න. ඊට පස්සෙ අපි අනිවාර්යෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට එනව. අනතුරුව අපට පුළුවන් ඇඳිරි නීතිය නීත්‍යානූකූල කරල දෙන්න.
මෙම වසංගතය මර්ධනයට ආණ්ඩුව යොදාගෙන තියෙන්නෙ 1897 කොකු පණු රෝගය මර්ධනය කිරීමට ඉංග්‍රීසීන් පාවිච්චි කරපු නීතියක්. අපේ නීතීඥවරු, මන්ත්‍රීතුමන්ලා එකතුවෙලා අලුත් නීතියක් කෙටුම්පත් කරල තියෙනව. ඒ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.
වසංගතය යම් ආකාරයකට පවතින තත්ත්වයන් හා මහජන ආරක්ෂක හා සෞඛ්‍ය තත්ත්වයන් ඇතුලෙ මැතිවරණ නීති වෙනස්කරන්න ඕන කියල මැතිවරණ කොමිසම කියනව. අපි ලෑස්තියි ඒව පාස්කරල දෙන්න. දැන් තිබෙන නීති විරෝධී මූල්‍ය ක්‍රියාවලියේ නියැලෙන්න එපා. නීත්‍යානුකූලව ඒ මුදල් සම්මත කරල දෙන්න අපි ලෑස්තියි. ඒ වගේම අරමුදල් විධිමත්කරණය අත්‍යාවශ්‍යයි.
ඒ වගේම ආණ්ඩුව විසින් හොර රහසේ ගහන මෙගාඩීල් වළක්වන්න හොඳම දේ තමයි පාර්ලිමේන්තුව නැවත කැඳවීම. ඒ වගේම රටේ ජනතාවට, විදේශ රටවල මූල්‍ය ආයතනවලට මේ රට විදේශ මූල්‍ය ආයතනවලින් මුදල් ගන්න යන්නෙ. මේ රට සමගි සම්පන්නයි, අපි එකමුතුයි, අපි ඒකාබද්ධව ඉදිරියට යනව, නීත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බව පෙන්වන්න තියෙන හොඳම ක්‍රමයත් පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි."