පරිසර අමාත්‍යාංශය විසින් පැළ මිලියන 02ක් රෝපණය කිරීම සඳහා ආරම්භ කර තිබෙන “හුස්ම දෙන තුරු” රුක් රෝපණ වැඩ පිළිවෙළ යටතේ සියලුම ආගමික ස්ථාන පරිශ්‍ර ආශ්‍රිතව ඖෂධීය වටිනාකමක් සහිත ශාඛ රෝපණය කිරිමේ වැඩ සටහනක් ආරම්භ කර ඇත.
මේ යටතේ ඔසු වන 1000ක් එකී ආගමික ස්ථාන පරිශ්‍ර ආශ්‍රිතව ඉදි කෙරෙන අතර මේ වනවිටත් විහාරස්ථාන ආශ්‍රිතව ඔසු වන 76ක් පිහිටුවීමේ කටයුතු අවසන් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම ඔසුවන තුළ බෙලි, ගොරක, දිවුල්, කැටකෑළ, දවුල්කරඳ, මී වැනි ශාඛ වර්ග 10ක් එක් පරිශ්‍රයක් තුළ රෝපණය කෙරේ. ඒවා රැක බලා ගැනීම එම විහාරස්ථානවල වැඩ වසන සාමනේර ස්වාමින්වහන්සේලාට පැවරීමට විහාරස්ථාන බාර නායක හිමිවරුන් විසින් පියවර ගෙන ඇත.
මීට අමතරව කතෝලික, හින්දු, හා මුස්ලිම් ආගමික පරිශ්‍රවල ද මෙම ඔසු වන පිහිටුවීමට තීරණය කර තිබේ.
වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව වැඩ වසන භික්ෂුන් වහන්සේලා විසින් සිංහල වෙදකම් හි නිරත වන අතර ඒ සඳහා අවශ්‍ය ශාඛ විශේෂ විහාරස්ථාන භූමිය තුළ ම රෝපණය කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණ බව අමාත්‍යවරයා පවසයි.