බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අසාද් සාලි මහතාගේ ඇප පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද කැදවූවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා මහතා කියා සිටියේ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණ අංක දෙකේ චෝදනා ගොනුකර ඇති බවයි. ඒ අනුව ඔහුට ඇප නියම කරන්නේ නම් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා සූදානම් බවද ඔහු පැවසුවා. එහිදී විනිසුරුවරයා කියා සිටියේ විත්තිකරුට එරෙහිව වෙනත් අධිකරණයක අධිචෝදනා ගොනුකර ඇති බැවින් මෙම ඇප ඉල්ලීම සලකා බැලීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.
තමා මෙම ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බවත් නැවත නිසි අධිකරණය ඉදිරියේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරන බවත් අසාද් සාලි මහතාගේ නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා දන්වා සිටියා.
ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරුවරයා අනතුරුව එය ප්‍රතික්ෂේප කිරීමට ද නියම කළා.