අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති සකස් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ ළඟම පාසල හොදම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් විවෘත කිරීම යටතේ බලංගොඩ පැවති විවෘත කිරිමේ අවස්ථාවකට ඊයේ (16) සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ,
“අපි දන්නවා එක කාලයක තිබ්බා අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තිබුණ. විදුහල්පතිකම ලැබුණේ ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ අවශ්‍යතාවය අනුවයි. අද අපිට සන්තෝෂයෙන් කියන්න පුළුවන් දැන් එහෙම නැහැ. විශේෂයෙන්ම ඉදිරියට සියලු දෙනා දැනුවත් වෙයි රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා ලබා ගන්න කොට වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය වෙනවා. එදා අපේ අගමැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කොට විද්‍යා පීඨ සංකල්පය ඇති කළා. අද භේදයකින් තොරව හැම දෙනාම ඒ දේවල් වල ප්රතිලාභ ලබනවා. අද අපි අධ්‍යාපන විෂය මාලාවට නීතිය විෂයක් ලෙස හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. නීතිය නොදැන ගෙන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි.
නීතිය නොදැන ගෙන සිටිම නිසා දරුවන් වැරදි කරනවා. දැන් සමහර අය මේ වන විට අසත්‍ය ප්‍රචාර Fake News අපි ඒකට අවශ්‍ය නීති ගේනවා. අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති මේ දවස්වල සකස් කර ගෙන යනවා. පසුගිය දවසක රත්නපුර කලාපයේ පාසලක ළමයින් හෙල්මට් දා ගෙන පන්තියේ ඉන්නවා මුහුණු පොතේ දාලා තිබුණා.අපි පරීක්ෂණයක් ඉල්ලුවා. මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේවා කරන්නේ. ඉතින් ආණ්ඩුව කීයටවත් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ.
අපි සදාකාලිකව ඉන්න ඇවිල්ලාවත් නැහැ. අපි ඉන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ.පුංචි දරුවකුගේ ඔලුවට හෙල්මට් එකක් දාන කොට දරුවා බලනවා මොකද මේ මගේ ඔළුවට හෙල්මට් එකක් දාන්නේ කියලා. ඊයේ පෙරේදා ෆේස් බුක් එකේ තිබුණා කල්තොට දියවින්න පැත්තේ කට්ටියක් කම්බියක් දිගේ ගඟ තරණය කරනවා . අපි පාලම් හතරක් දාලා තියෙනවා මේවා ඉතින් අපි කාට කියන්නද මොකටද මේ විදිහට දේශපාලනය කරන්නේ. දේශපාලනය ඔළුවේ තියා ගෙන වැඩ කරන්න හොඳ නැහැ . අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම කර ගෙන යනවා.
මේ රජය ආව ගමන් හැදුවේ මාධ්‍ය නිදහසයි. වැඩියෙන්ම විවේචනයට ලක් වෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අපියි. අපි ඕනම දේකට සුදානම් වෙලා වැඩ කරන අයයි. අපි මේ කටයුතු කරන්නේ මේ රටේ අනාගතය ගැන හිතලයි. අපි ලොකු සභ්‍යත්වයක් ගැන කථා කරනවා. ඉතිහාසයක් ගැන කථා කරනවා. සිංහල බෞද්ධ කම් ගැන කථා කරනවා. ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ පාසල්වල මේ අනවශ්‍ය තදබදය නවත්වන්න. අපි අපේ වගකීම හරියාකාරව ඉටු කරනවා අපි මේවා කරන්නේ ඔබේ හෙට දවස වෙනුවෙන් බව ද” අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
කෂිනි හපුආරච්චි