ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබාදීම සදහා රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයේ හිටපු සත්ව සංවර්ධන උපදේශකවරයාට වසර 03ක බරපතල වැඩ සහිත සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
විත්තිකරුට නියම කළ සිරඳඩුවමට අමතරව රුපියල් 5,000/-ක දඩයකටද විනිසුරුවරයා විසින් ඔහු යටත් කරන ලදී.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා හතරෙන් තුනක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනා තුනෙන්ම ඔහු නිදහස් කළ අතර විත්තිකරුට එරෙහි එක් චෝදනාවක් පමණක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට වරදකරු වු ඔහුට අදාළ දඩුවම නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සත්ව සංවර්ධන උපදේශකවරයා ලෙස රාජකාරි කළ චමින්ද බණ්ඩාර නමැත්තාටය.
2014 වසර මස්කෙළියේදී ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ඉල්ලීම, ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
මනෝප්රිය ගුණසේකර